විවිධ ක්ෂේත්‍රවල, විවිධ කණ්ඩායම් සමඟ සාකච්ඡා කරමින්, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට ඉතාමත් වැදගත් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් සකස් කිරීම සඳහා තම කණ්ඩායම සැලකිය යුතු කාලයක් වෙහෙසුණු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ජාතික ජන බලවේගයේ තොරතුරු තාක්ෂණ වෘත්තිකයින්ගේ සමුළුව අමතමින්.
“තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට අදාළව අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කිරීම සඳහා විවිධාකාරයෙන් උදව් කළ සියලු දෙනාටම පළමු කොටම ස්තුතිවන්ත වෙනවා. අපෙන් සමාජය අහන ප්‍රශ්නයක් තමයි මොකක්ද කරන්නේ කියන එක. අපි ක්ෂේත්‍ර ගණනාවක කුමක්ද කරන්නේ කියන කාරණය වෙන් වෙන්ව ඉදිරිපත් කර තිබෙනවා. සමස්ත ප්‍රතිපත්ති ප්‍රකාශන එළඹෙන 26 වැනිදා එළිදක්වන්න අපි බලාපොරොත්තු වෙනවා. ඊළඟ අපෙන් අහන ප්‍රශ්නයක් තමයි කරන්නේ කවුද කියලා. කරන අය තමයි අදත් මේ අපි ඉදිරිපිට අසුන් ගෙන ඉන්නේ. කළ යුත්තේ කුමක්ද කියන එකත්, කරන්නේ කවුද කියන එකත් ගැන අපි සහතිකයක් ජනතාවට දීලා තියෙනවා.
මේ කාලයේ ස්මාර්ට් ඇග්‍රිකල්චර්, ස්මාර්ට් ක්ලාස්රූම් ගැන කතා වෙනවා. හැබැයි රටේ තිබෙන්නේ ඩර්ටි කොලිටික්ස්. මම හිතනවා ඩිජිටල්කරණයට යාමට පෙර දේශපාලන පිටිය සුද්ද කළ යුතුයි කියලා. සැප්තැම්බර් 21 වෙනිදා ඒක සිදුකරනවා.
මීට සතියකට පෙර එක් අයෙක් කෙරෙහි බරපතළ විවේචන එල්ල කරන කෙනා ඊළඟ සතියේ නැවත එයා වර්ණනා කරන තත්වයට පත්වී තිබෙනවා. මාධ්‍යවල බ්රේකින් නිව්ස්වලින් එන්නේ එහෙන් මෙහාට, මෙහෙන් එහාට පනින තොරතුරු. අපි ඔබට සහතිකයක් දෙනවා මේ සියල්ල කරන්න කලින් මේ දේශපාලන පොර පිටිය පිරිසිදු කරණ බවට. මේ එහෙට මෙහෙට පැනීම සිදුවන්නේ ප්‍රතිපත්තිමය කරුණු මතද. නැහැ. සමහර අය ඊළඟ පාර්ලිමේන්තුවට තමන්ගේ දොරටුව විවෘත කර ගැනීමට පනිනවා. සමහර මාරුවීම් පිටුපස මූල්‍යමය ගනුදෙනු, රජයේ ඉඩම් ලබාදීම්, බාර් ලයිසන්, පෙට්‍රල් ෂෙඩ් ලබාදීම් තිබෙනවා. අපේ රටේ ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ ආණ්ඩු මාරුකරනවා. හැබැයි ආණ්ඩුව මාරුකරල ඉවර වෙනකොට ඒගොල්ලන් මාරු වෙනවා. මේ නිසා 1994 සිට 2024 දක්වා එක දිගට අමාත්‍ය ධුර දරපු ගණනාවක් ඒ පැත්තෙන් මේ පැත්තටත් මේ පැත්තෙන් ඒ පැත්තටත් පනිමින් අදත් අමාත්‍ය ධුර දරනවා. අපේ රටේ ඇතිවී තිබෙන ව්‍යසනයට මේ පොලිටිකල් කල්චර් එක, කැත දේශපාලන සංස්කෘතිය විශාල බලපෑමක් ඇතිකර තිබෙනවා.
1950 දී ලංකාවේ අපනයන ආදායම ඩොලර් මිලියන 316 යි. දකුණු කොරියාවේ අපනයන ආදායම ඩොලර් මිලියන 25 යි. අද ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 12යි. දකුණු කොරියාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 685යි. 1980 දී වියට්නාමයේ අපනයන ආදායම ඩොලර් මිලියන 400 යි. අපේ අපනයන ආදායම ඩොලර් මිලියන 1500 යි. අද අපේ අපනයන ආදායම ඩොලර් බිලියන 12 යි. වියට්නාමයේ අපනයන ආදායම ඩොලර් බිලියන 420 යි. ලෝකයේ විශාල ලෙස තාක්ෂණයේ පරිවර්තනයන් සිදුවුණේ විසිවන සියවසේ. විසිවන සියවසේ පරිවර්තනයන් සිදු නොවෙන්න අපේ මානව සංහතියට ආහාර සපයන්න පුළුවන් තත්වයක් නිර්මාණය වන්නේ නැහැ. දාහත, දහ අට, දහනවය සියවස්වල බිහිවූ ගණිතඥයන්, විද්‍යාඥයන්, දාර්ශනිකයන් විසින් පරිකල්පනය කළ ලෝකය භෞතිකව 20වැනි සියවසේ බිහිවුණා. වෛද්‍ය විද්‍යාවේ මහා පරිවර්තනයන් සිදුවුණා. ඒ නිසාම මිනිසුන්ගේ ආයු කාලය වැඩිවුණා. තාක්ෂණයේ හා විද්‍යාවේ දියුණුව විසින් ලෝකය ඇතුලේ මහා වෙළඳපොළක් නිර්මාණය වුණා. මේ වෙළඳපොළට අවශ්‍ය වන පරිදි, වියට්නාමය, දකුණු කොරියාව, සිංගප්පූරුව, මැලේසියාව තමන්ගේ ආර්ථික උපාය මාර්ග සකස්කර ගන්න සමත් වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාවේ IT ක්ෂේත්‍රයෙන් පමණක් අපනයන ආදායම ඩොලර් බිලියන 194 යි. අපේ IT ක්ෂේත්‍රයේ අපනයන ආදායම ඩොලර් බිලියන 1.2 යි. ලෝකයේ ඇති වුණු විද්‍යා හා තාක්ෂණ දියුණුවට අනුරූපවන පරිදි අපේ ආර්ථිකය පෙළ ගස්වා ගන්න අපි අසමත් වුණා.
ආණ්ඩුව 2016 දී තීරණය කරනවා IT ක්ෂේත්‍රයේ අපනයන ආදායම ඩොලර් බිලියන 05ක් බවට පත්කරන්න. 2020දිත් කියනවා ඩොලර් බිලියන 03ක ආදායමක් IT ක්ෂේත්‍රයේ අපනයන ආදායම ළඟාකර ගන්නා බව. හැබැයි ගිය වසරේ අපේ අපනයන ආදායම ඩොලර් බිලියන 1.2 යි. මේ ක්ෂේත්‍රය පිළිබඳ සකස් කරන ලද ප්‍රතිපත්ති, ඉලක්ක සම්පූර්ණ කිරීම සඳහා මෙහෙයවීමේ වගකීම තිබෙන්නේ ආණ්ඩුවට. මේ ක්ෂේත්‍රයට එන ව්‍යවසායකයා රටක් හැටියට සකස් කරන ඉලක්කය සම්පූර්ණ කර ගැනීමේ පංගුකාරයෙක් පමණයි. ඉලක්ක සම්පූර්ණ කිරීමේ වගකීම තිබෙන්නේ ආණ්ඩුවට.
අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කර තිබෙනවා. අපේ ඉලක්කය වන්නේ, 2030 දි ඩොලර් බිලියන 05ක අපනයන ආදායමකට යන්න. ඒ සඳහා ඉතාමත් හොඳ විභවතාවක් අපට තිබෙනවා. ඉන්දියාවේ IT ක්ෂේත්‍රයේ නිපුණතාවය තිබෙන කෙනෙක් සාමාන්‍යයෙන් වාර්ෂිකව උපයනවා ඩොලර් 36,000ක්. සිංගප්පූරුවේ සාමාන්‍ය අගය ඩොලර් ලක්ෂ දෙකයි. ලංකාවේ සාමාන්‍ය අගය ඩොලර් 14.200යි. මේ ගැප් එක අපිට පනින්න පුළුවන්. අපි ක්ෂේත්‍ර ගණනාවකට ICT යොදාගැනීම ගැන කල්පනා කොට තිබෙනවා. අපේ ආර්ථිකයේ පංගුව වැඩිකර ගැනීම සඳහා, අපේ රටේ රාජ්‍ය සේවය කාර්යක්ෂම කර ගැනීම සඳහා, රාජ්‍යයේ ගනුදෙනුවල විනිවිදභාවය ඇතිකර ගැනීම සඳහා මේ ක්ෂේත්‍රය උපයෝගී කර ගන්නේ කොහොමද? තොරතුරු සහ දැනුම පුරවැසියන් වෙත ගලාගෙන යාම සඳහා, පුරවැසියා බල ගැන්වීම සඳහා මෙම ක්ෂේත්‍රය උපයෝගී කර ගන්නේ කොහොමද කියන එක අපි සැලසුම් සකස්කොට තිබෙනවා” යි අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරනවා.