විශ්‍රාමික ජනාධිපතිවරුන් වෙනුවෙන් ලබා දී තිබෙන අසාමාන්‍ය ආරක්‍ෂක භට කණ්ඩායම් පිළිබඳව සහ වාහන, ඉන්ධන ඇතුළු ඔවුන් නඩත්තු කිරීම සඳහා වැය කෙරෙන මහජන ධනය පිළිබඳව විස්තර අනාවරණය වී තිබේ.

එම නිලධාරීන් හට රුපියල් 93 කෝටිය ඉක්මවූ වැය බරක් දැරීමට සිදු වී තිබෙන අතර, විදුලිය, ජලය, ප්‍රවාහණය සහ නවාතැන් ඇතුළු වියදම් වෙනුවෙන් සමස්තයක් ලෙස රුපියල් කෝටි 110කට වැඩි මුදලක් වැය වන බව අනාවරණය වී තිබේ. මෙම මුදල සමස්ත පොලිස් නිලධාරීන් වෙනුවෙන් සලසා දී තිබෙන සෞඛ්‍ය පහසුකම්වලට වැය වන මුදලට ආසන්න මුදලක් බව වැඩි දුරටත් හෙළි වේ.

හිටපු ජනාධිපතිනි, චන්ද්‍රිකා කුමාරතුංග වෙනුවෙන් ජීප් රථ දෙකක්, යතුරුපැදි පහක්, කාර් රථයක් ඇතුළු වාහන අටක් වෙන් කර දී තිබේ. එම වාහන වෙනුවෙන් මසකට ඩීසල් ලීටර් 500ක් සහ පෙට්‍රල් ලීටර් 495ක් ලබා දී ඇති අතර, පොලිස් නිලධාරීන් 57 දෙනකු අනුයුක්ත කර ඇතැයි හෙළි වේ.

මහින්ද රාජපක්‍ෂ වෙනුවෙන් ජීප් රථ පහක්, යතුරුපැදි හතරක්, ත්‍රිරෝද රථ දෙකක්, බස්රථ දෙකක්, කාර් රථයක්, වෑන් රථයක් සහ ඩබල්කැබ් රථ තුනක් වශයෙන් වාහන 18ක සංචිතයක් ලබා දී තිබේ. ඔහු වෙනුවෙන් මාසිකව ඩිසල් ලීටර් 1,770ක් සහ පෙට්‍රල් ලීටර් 829ක්, සුපිරි ඩීසල් ලීටර් 200ක් වෙන් කර දී තිබේ. ආරක්‍ෂක භට බළඇණිය 187 දෙනකුගෙන් සමන්විත ය.

මේ ආකාරයට මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්‍ෂ, රනිල් වික්‍රමසිංහ මෙන් ම වැන්දඹු ප්‍රේමදාස ආර්යාවට ද විශාල මහජන මුදලක් වැය කරමින් පවතී. එය අවශ්‍යතාව අනුව පමණක් ලබා දීමට නව රජය ක්‍රියා කරමින් සිටින අතර, එමඟින් ඔවුන්ගේ ජීවිතවලට තර්ජනයක් එල්ල වෙතැයි විවිධ ප්‍රචාර ගෙන යමින් සිටී.