ජනතාවගේ ජනාධිපතිවරණ උනන්දුව වැඩි වීමෙන් පෙන්නුම් කරන්නේ, පාලකයන්ට ඉක්මනින් ගෙදර යන්න වෙන බව යයි

ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ නීතිඥ හර්ෂණ නානායක්කාර පවසනවා. මැතිවරණ කොමිසමට ජනාධිපතිවරණයට දින නියම කිරීමටත් ඉදිරි කටයුතු කරගෙන යාමටත් බලය ලැබී තිබෙන බව ඔහු සඳහන් කරනවා.

“ජනාධිපතිවරණ ඡන්දයේ ක්‍රියාවලිය ප්‍රායෝගිකව හැකි ඉක්මනින් නිශ්චිතවම ආරම්භ කරන ලෙස අපි මැතිවරණ කොමිසමට සිහිකැඳවීමක් කරනවා. වෙනත් අවස්ථාවක මෙන් නොවෙයි ජනතාව ජනාධිපතිවරණය එනකම් බලාපොරොත්තුවෙන්මයි සිටින්නේ. ජනතාව මැතිවරණය ගැන අහන ප්‍රමාණය වැඩි වීමෙන් පෙන්නුම් කරන්නේ, පාලකයන්ට ඉක්මනින් ගෙදර යන්න වෙන කාරණාව යි. ගෙදර යන්න වෙන බව දන්න රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව, දැන් උත්සාහ කරමින් ඉන්නේ ජනතාවගේ හිතේ දෙගිඩියාවක්, කුතුහලයක් ඇති කරන්න. මම නීතිඥයෙක් වශයෙන් ප්‍රකාශ කරන්නේ, මෙම ජනාධිපතිවරණය කල්දාන්න කිසිදු ක්‍රමයක් නැහැ. රනිල් ගත් උත්සාහයන් සෑම එකක්ම අසාර්ථක වී තිබෙනවා. රනිල් කුමන උත්සාහයන් ගත්තත් අපේ රටේ මැතිවරණ නීතිවලට අනුව මේ ජනාධිපතිවරණය කල් දැමිය නොහැකියි. ඒ නිසා සියලු දෙනාම ඒ කුතුහලය සිතින් අයින් කර ගන්න ඕනෑ.

ඒ වගේම මම කියනවා, නීතියයි දේශපාලනයයි කියන්නේ දෙකක්. සියලු දේම සිදුවන්නේ නීතිය අනුව නොවෙයි. නීතියේ ඉස්පිලි, පාපිලි අල්ලාගෙන දැඟලුවත් දේශපාලනයේ ප්‍රවණතාවය තිබෙන්නේ වෙනත් තැනක නම් ඒක වෙනම තත්වයක්. මේ මාසය අවසන් වෙන්න ප්‍රථම ඡන්ද දිනය පැහැදිලිව ප්‍රකාශ කොට තිබෙනවා නම්, රනිල් වික්‍රමසිංහ කියන්නෙත් තවත් එක් ජනාධිපති අපේක්ෂකයෙක් විතරයි. ඔහු අපේක්ෂකයෙක් වෙලා තමන්ගේ බලය පාවිච්චි කරලා, ඔහු තරග කරන ඡන්දයකට බලපෑම් ඇති කරන කරුණු සිද්ධ කරන්න හදනවා නම්, එය කොයිතරම් ව්‍යවස්ථානුකූලද, නීති විරෝධීද යන්න අපට අහන්න සිදුවෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂකයෙක් වුණායින් පස්සේ ඡන්දවලට බලපෑම් කරලා යම් ක්‍රියාවලියක් කරන්න හදනවා නම්, ඒකට පියවර ගන්නත් ජාතික ජන බලවේගයේ නීතිඥවරු සූදානම්.

පැහැදිලිවම කියනවා නම් රනිලුත් හොඳටෝම ෆේල්. එයා ගෙදර යනවා. ඒ පිළිබඳ ගැටලුවක් නැහැ. ජාතික ජන බලවේගයේ බිම් මට්ටමේ සහෝදර සහෝදරියන් විදිහට අපි කිසිවෙකුටත් මේ ජනාධිපතිවරණය ගැන දෙගිඩියාවක් නෙහ. ඒවගේම සහෝදර ජනතාවටත් අපි කියන්නේ එහෙම හිතේ කොනකවත් පුංචිම පුංචි දෙගිඩියාවක්වත් මේ ගැන තියාගන්න එපා. අපි මේ රටේ පුරවැසියන්ට ජනාධිපති මැතිවරණය දිනා දෙනවා. අපි ජනාධිපතිවරණය ගේනවා. ඒ වගේම අපි හැම දෙනාගේම ශක්තියෙන් ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක සහෝදරයා මේ රටේ ජනාධිපති කරනවා. ඒ වෙනුවෙන් තමන්ට කළ හැකි තමන්ගේ වැඩකටයුතු උපරිම වේගයෙන් කරන්න කියන ඉල්ලීම අපි කරනවා” යි නීතීඥ හර්ෂණ නානායක්කාර සඳහන් කරනවා.