ශ්‍රී ලංකාවේ සිටින ජපාන තානාපති, දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් සහ ස්විට්ස්ර්ලන්ත තානාපතිනිය අද පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයට පැමිණ ජාතික ජන බලවේගයේ නායකයින් හමුවී සාකච්ඡා පැවැත්වූහ.
ජාතික ජන බලවේගයේ නායකයින් මෙම තානාපතිවරුන් හමුවේ අවධාරණය කර තිබෙන්නේ තම දේශපාලන ව්‍යාපාරය කිසි ලෙසකින්වත් ජාතිවාදය යොදා ගැනීමට ඉඩ නොතබන බව ය. එම හමුවීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයෙන් මාධ්‍යයට නිකුත් කළ විස්තර පහත දැක්වේ.
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති MIZUKOSHI Hideaki මහතා, දකුණු අප්‍රිකානු මහකොමසාරිස් Sandile Schalk මහතා සහ ස්විට්සර්ලන්ත තානාපතිනි Siri Walt මහත්මිය අද (09) පස්වරුවේ ජ.වි.පෙ ප්‍රධාන කාර්යාලයේදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු නියෝජිත පිරිසක් හමුවූහ.
මෙම හමුව සඳහා ජපාන තානාපති කාර්යාලයේ දේශපාලන අංශයේ පළමු ලේකම් MURATA Shinichi, දකුණු අප්‍රිකානු මහකොමසාරිස් කාර්යාලයේ දේශපාලන අංශයේ දෙවැනි ලේකම් Zanethemba Tshangela, ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ දේශපාලන කටයුතු අංශයේ පළමු ලේකම් Justine Boillat යන මහත්ම මහත්මීහුද, ජාතික ජන බලවේගය වෙනුවෙන් ජාතික විධායක සභික බිමල් රත්නායක, ජාතික විධායක සභික වෛද්‍ය රිස්වි සාලි, ජාතික විධායක සභික සරෝජා පෝල්රාජ්, ජාතික විධායක සභික රාමලිංගම් චන්ද්‍රසේකර්, ජාතික විධායක සභික නීතීඥ හර්ෂණ නානායක්කාර යන නියෝජිතයෝ එක්ව සිටියහ.
ශ්‍රී ලංකාවේ ජාතිකත්වයන් අතර සාමය සහ සංහිඳියාව පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වූ අතර මේ පිළිබඳව ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති සහ විසඳුම් ප්රවේශයන් පිළිබඳව දූත මණ්ඩල නියෝජිතයින්ගේ විමසුමට ලක්විය.
මෙහිදී ජාතික ජන බලවේගය පෙන්වා දුන්නේ තම පක්ෂය කිසිදු ලෙසක ජාතිවාදය දේශපාලනය වෙනුවෙන් යොදා ගැනීමට සූදානම් නොමැති බවය. සමානාත්මතාවය සහ ප්රජාතන්ත්රවාදය මත පිහිටා ජාතික ගැටලුවට විසඳුම් ලබා දීමට තමන් සූදානම් බව අවධාරණය කළ ජාතික ජන බලවේගයේ නියෝජිතයෝ, ජාතික ගැටලුවට හුදෙකලාව විසඳුම් ලබා දිය නොහැකි බවත් එය අනෙකුත් සාධක සමග බැඳී පවතින බැවින් විසඳුමකදී සමස්තය සලකා බැලිය යුතු බවත් පෙන්වා දුන්හ. මෙම කරුණ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාවේ උනන්දුව පිළිබඳව ජාතික ජන බලවේගය තම විශේෂ ස්තූතිය දූත මණ්ඩලය වෙත පළ කර සිිටියේය.