අපේ රටේ පුරවැසියන් සහ මාතෘ භූමිය විඳින ඛේදවාචකය තමන්ගේ පපුවට දැනෙනවා නම්, රටේ පුරවැසියන්ගේ වේදනාව කිසිවෙකුගේ කණට ඇහෙනවා නම්, හදවතක් තිබෙන පුද්ගලයෙක් නම් ඒ කිසිවෙකුටත් මේ තත්වය හමුවේ අහක බලාගෙන ඉන්න යුක්තිසහගත අයිතියක් නොමැති බවයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක කියන්නේ.
“අපේ රටට සිදුවී තිබෙන්නේ මොකක්ද? ආර්ථික වශයෙන් බංකොලොත් වූ, විශාල අපරාධවලින් ගහණ වූ, නීතියේ විධානයේ ආධිපත්‍යය මුළුමනින්ම කඩා වැටුණු, සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර සැකය, අවිශ්වාසය, ක්‍රෝධය වර්ධනය වූ, පතුලේම සිටින ජනතාවට නිසි ආහාර සපයා ගන්න බැරි, ඉස්පිරිතාලේ බෙහෙත් පෙත්තක් නැති, තරුණයන්ගේ අනාගතය මුළුමනින්ම විනාශයට භාජනය කරන ලද, අධ්‍යාපනය කඩා වට්ටන ලද, මත්ද්‍රව්‍ය අපරාධවලින් ගහණ වූ රටක් අප ඉදිරියේ නිර්මාණය වෙලා තිබෙනවා. අපේ රටේ පුරවැසියන් සහ මාතෘ භූමිය විඳින ඛේදවාචකය අපේ පපුවට දැනෙනවා නම්, අපේ පුරවැසියන්ගේ වේදනාව අපේ කණට ඇහෙනවා නම්, හදවතක් තිබෙන පුද්ගලයෙක් නම් අපි කිසිවෙකුටත් මේ තත්වය හමුවේ අහක බලාගෙන ඉන්න යුක්තිසහගත අයිතියක් නැහැ. අපි හැමදෙනාම කළ හැකි සෑම දෙයක්ම කරමින් මේ පරිවර්තනය අත්පත් කර ගැනීමේ නියමු කාර්යභාරයේ කොටස්කරුවන් බවට පත්විය යුතුයි. ඒ වෙනුවෙන් ඔබට ආරාධනා කරනවා.
අපේ මාතෘ භූමිය හදන්න ඕනෑ. අපේ රටේ පැරණි, අසාර්ථක දේශපාලන ගමන් මඟ වෙනස් කරන්න ඕනෑ. මේ අර්බුදය නිර්මාණය කළේ දේශපාලනය විසින්. මේ අර්බුදයෙන් ගොඩ ඒමේ පළමු පියවර වන්නේ දේශපාලන පරිවර්තනය කිරීමයි. එක්සත් රාජධානියේ කවුරු හෝ කල්පනා කරනවා නම්, පාසලකට යම් උදව්වක් කර, අධ්‍යාපන ප්රශ්නය විසඳන්න පුළුවන් කියා, එහෙම විසඳෙන්නේ නැහැ. එහෙත් ඔබ ළමයි කිහිපදෙනෙකුට හරි උදව් කරන්න. ඒකත් වටිනවා. ඔබ හිතනවා නම් එකට එකතු වෙලා නිවසක් නැති කෙනෙකුට නිවසක් හදලා උදව් කරන්න. හැබැයි ඒකෙන් ලංකාවේ නිවාස ප්රශ්නය විසඳෙන්නේ නැහැ. ඔබේ හිතවතෙුකට, ඥාතියෙකුට බෙහෙත් ටිකක් ඔහු සුවකර ගන්න යවන්න. නමුත් ඒකෙන් ලංකාවේ සෞඛ්‍ය ප්රශ්නය විසඳෙන්නේ නැහැ. මේ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා ඔබ, අපි කැමති වුණත් අකමැති වුණත් අනිවාර්ය කාර්යභාරය තමයි අපේ රටේ මේ දේශපාලන ගමන් මඟ වෙනස් කළ යුතුයි.
අපි හැමෝම ඉදිරියේ එන ජනාධිපතිවරණය තීරණාත්මක සන්ධිස්ථානය බවට පත්කර ගනිමු. මෙතෙක් ගලාගෙන ගිය දේශපාලන ගමන් මඟ වෙනස් කිරීමට ස්ථිර අධිෂ්ඨානයකින් යුතුව කටයුතු කරමු. ජනාධිපතිවරණ ඡන්දය බොහෝ දුරට සැප්තැම්බර් 28 නැතිනම් ඔක්තෝබර් 05 පැවැත්වේවි. එතන දී මේ දේශපාලන වෙනස අපි කරමු. එහිදී අපට පැවරෙන වැඩ කොටස අපි කරමු” යි අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරනවා.