ජනාධිපතිවරණය සඳහා තැබූ පියවර නොවැම්බර් 14වෙනි දා ශක්තිමත්ව ඉදිරියට ගෙනයන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසී ය.


ජනාධිපතිවරයා මෙලෙස පැවසුවේ පසුගිය හතර වන දින මොනරාගල පැවති ජනතා රැලිය අමතමිනි.

එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ ජනාධිපතාවරයා…

අත් නොහරින ජයග්‍රහණය

මොණරාගලට වර්ෂාව තිබ්බට වැල්ලවායට තමයි ජනගඟ ගලල තිබෙන්නේ. දහස් සංඛ්‍යාත ජනතාව මෙතැනට සහභාගී වෙලා කියන්නේ අන් කවරක් නිසාවත් නොවෙයි; ජනාධිපතිවරණය සඳහා තැබූ පියවර නොවැම්බර් දාහතරවෙනි දා ශක්තිමත්ව ඉදිරියට ගෙනයන බවයි ඒකෙන් තහවුරු වෙන්නෙ. ලංකා ඉතිහාසයේ පීඩාවට පත්වුණු ජනතාව දීර්ඝ කාලයක් පීඩාවට එරෙහිව සටන් කරා. කන්ද උඩරට ගිවිසුම අත්සන් කරලා අපේ රට මුළුමනින් ම විදේශිකයින්ට පාවා දුන්නාට පසුව එක්දහස් අටසිය දහැටේ කැරැල්ලක් ඇතිවුණා. ඒ වෙල්ලස්සේ කැරැල්ල. මේ මුතුන් මිත්තන් තමන්ගේ අයිතිය වෙනුවෙන් එදා සටන් කරා. එය ජයග්‍රහණයෙන් කෙළවර කරගන්න බැරිවුණා. කැරැල්ලට නායකත්වය දුන්නු ජාතික වීරවරයන් කිහිප දෙනෙක් සුදු අධිරාජ්‍යවාදීන් විසින් ඝාතනය කළා.

 එක්දහස් අටසිය හතළිස් අටේ දි මාතලේ දිසාවෙන් නැවත කැරැල්ලක් පටන් ගත්තා. එම කැරැල්ලත් සුදු අධිරාජ්‍යවාදීන් විනාශ කර දැමුවා. එක්දහස් නමසිය හතළිස් අටෙන් පසුවත් තරුණයන් තම අයිති වෙනුවෙන් කැරලි ආරම්භ කරා. සියවස් දෙක තුනක් තිස්සේ අපේ රටේ පුරවැසියන් මේ පීඩනවලට එරෙහිව සටන් කරා; අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරා. අපේ රටේ පීඩාවට පත් කරන ලද, අපේ රටේ මහජන ධනය කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරන ලද, අපේ රටේ පාලනය පවුල් කිහිපයක් අතේ තිබුණු යුගය පහුගිය ජනාධිපතිවරණයෙ දි පරාජය කිරීමට ජනතාව සමත් වුණා; දීර්ඝ කාලයක් අයිතිවාසිකම් අහිමි වූ ජනතාව කරන ලද අරගලය පහුගිය සැප්තැම්බර් මාසසෙ දි ජයග්‍රහණයෙන් කෙළවර කරා. මේ ජයග්‍රහණය අපි ලේසියෙන් අත්හරිනව ද? නැහැ… නොවැම්බර් මාසේ දාහතර වෙනි දා තවත් ශක්තිමත් ජයග්‍රහණයක් අප වෙත ලැබෙන බව අපට සහතික වශයෙන් කියන්න පුළුවන්. ජනාධිපතිවරණයෙ දි ලැබූ ජයග්‍රහණයට වඩා මහා ඡන්දේදි ලැබෙන ජයග්‍රහණය ලොකු ද පොඩිද…? ලොකුයි… ජනාධිපතිවරණයෙ දි අපට ඡන්දය නොදුන් ජනතාවත් අපට මෙවර ඡන්දය ලබාදෙනවා. ජනාධිපතිවරණයෙ දි ඉතා නිර්භීත පියවරක් ජනතාව තැබුවා.

බලය, ප්‍රභූ පාලනයෙන් පොදු ජනතාව අතට

ජනාධිපතිවරණයෙ දි  ජාතික ජන බලවේගයට විවිධ අවලාද නැගුවා. එවැනි අවලාද ගොඩනගද්දීත් ජනතාව ඒවා මායිම් නොකර ජාතික ජන බලවේගය විශ්වාස කරා. මේ රටේ ජනතාව නිර්භීත තීන්දුවක් ගත්තා; ඒක වැදගත් තීන්දුවක්. මීට කලින් ආණ්ඩු මාරු උනේ එයාලගේ අතින් එයාලගේ අතකටමයි; එයාලගේ පවුලකින් එයාලගේ පවුලකටමයි. ඔවුන් හැමදාම කරේ බෙදිල ඡන්දය කරලා එකට ආණ්ඩු කිරීමයි. දැන් ඒ පක්ෂ කොහෙද? මේ වැල්ලවායේ කෙනත් එහෙම තමයි. බෙදිලා ඡන්ද කරනවා එකට ආණ්ඩු කරනවා. පහුගිය ජනාධිපතිවරණයෙ දි කිව්වා අගමැතිකම මොණරාගලට කියලා. මතකද? එයාලා අතර ඇත්ත විරසකයක් තිබුණෙ නෑ; එයාලා අතර ප්‍රතිපත්ති වෙනසක් තිබුණේ නෑ. එයාලා කවදාවත් පරාජයට පත්වුණාට සැකයක් තිබුණේ නෑ. මොකද බලය මාරු උනේ තමන්ගේ පිලෙන් තමන්ගේ පිලටමයි. නමුත් පහුගිය සැප්තැම්බර් මාසෙ දි දූෂිත නාස්තිකාරී ප්‍රභූ පාලනයෙන් පොදු ජනතාව අතට බලය මාරුවී තිබෙනවා. දැන් ඒ අයට ගොඩක් රිදෙනවා. එයාලා හැමදාම හිතාගෙන හිටියේ රට පාලනේට උපන් පවුල් කියලා. මේ රට පාලනය කරන්න ඒගොල්ලන්ගේ පරම්පරාවෙන් එන බූදලේ කියලා හිතාගෙන හිටියේ. ඒ දූෂිත ප්‍රභූ පාලනයෙන් පොදු ජනතාව අතට බලය අමාරු වුණා. රිදෙන්නේ නැද්ද? දැන් නැවත උත්සාහ කරනවා ආණ්ඩුව වට්ටන්න. මොකද කියන්නේ…? පරාජයට පත් කරන්න දෙනව ද, වට්ටන්න දෙනව ද…? මේ ආණ්ඩුව වට්ටන්න බැහැ.

වීරප්පන් සහ අපේ අප්පන්ලා…

ජාතික ජන බලවේගය ජයග්‍රහණය නොකරා නම් අර ඡන්ද ඉල්ලන්නේ නැති හැට දෙ කම නැවත ඡන්දේ ඉල්ලනවා. ඒ තරමට ඒගොල්ලෝ අද වෙනකොට වේදනාවට පත්වෙලා තිබෙනවා. එයාලා හැමදාම හිටියේ ජනතාව රවට්ටලා, ජනතාව බියවද්දලා ඡන්ද කරන්නයි. චණ්ඩින්ගේ පාලනය අප අවසන් කරලා තිබෙනවා. සාමාන්‍යයෙන් ගම්වල අම්මලා තාත්තලා බයගන්වල තමයි මේ අය රට පාලනය කරේ. වීරප්පන් පාලනය කරා වගේ තමයි අපේ අප්පන්ලා රට පාලනය කරේ. අපට ඡන්දය දෙන්න පුළුවන්, අපට ඡන්දයක් නොදෙන්න පුළුවන්. නමුත් ඒ හැම පුරවැසියාගේ ම නිදහස සුරකින්න අපි බැඳී සිටිනවා. අද සෑම දේශපාලන ව්‍යාපාරයකට ම දේශපාලනය කිරීමේ අයිතිය තහවුරු කර තිබෙනවා. එහෙම අයිතියක් තිබුණට අද විපක්ෂය කාර්යාල නෑ. ඒක අපේ වැරැද්දක් නෙවෙයි. අපි හැම කෙනාට ම නිදහසේ දේශපාලනය කරන්න අවස්ථාව ලබාදී තිබෙනවා. රටක් ඉදිරියට යන්නේ රටක් බය කරන වීරප්පන්ලා වගේ නායකයන් නිසා නෙවෙයි; රටක් ඉදිරියට යන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමෙන් පමණයි.

ප්‍රමිතිකරණයට ලක් කළ දේශපාලනයක්

දේශපාලකයන් නීතියට යටත් වෙන්න ඕනෑ. දේශපාලන ප්‍රතිපත්ති සහ ප්‍රමිති රාමුවක් ඇතුළෙ තියෙන්න ඕනෑ. දේශපාලනඥයෝ හිතනවා නම් නීතිය තියෙන්නේ පොදු මිනිස්සුන්ට, අපිට නෙවෙයි කියලා ඒක දේශපාලන සංස්කෘතියේ වරදක්. නීතිය සියලුදෙනාටම පොදුයි. අපි ඒ සංකල්පයට පණ පොවනවා. ජනාධිපති ලේකම් කාර්යාලය පමණක් වාහන තියෙනවා අටසිය හැට තුනක්. මොණරාගල ඩිපෝවේ බස් කීයක් ඇතිද? ඇති තරම් වාහන පාවිච්චි කරන්න පුළුවන් ඒ අයට. කෝ නීතියක්, කෝ ප්‍රමිතියක්? මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතුයි. එයාල හිතෙනවා ජනතාවගේ මුදල් එයාලට රිසිසේ පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒක නිසා දේශපාලනය ප්‍රමිතිකරණයකට ලක් කරන්න ඕන නැද්ද? එයට හිටපු සහ ඉන්න සියලු ජනාධිපතිවරු ඇතුළත්.

කප්පම් නොගන්නා දේශපාලනයක්...

හිටපු ජනාධිපතිවරු ඉන්නේ නගරයක. හූවක දුර නැහැ රජයේ රෝහලට. හූවක දුර නැහැ පෞද්ගලික රෝහලට. නමුත් පැය විසි හතර ම ගිලන් රථයක් මිදුලේ තියාගෙන ඉන්නවා. නමුත් ගම්වල රෝහල්වලට ගිලන් රථ නෑ. ඒවා ගන්න ඕනේ නැද්ද? කොළඹ ගෙවල් තියෙනවා නමුත් ආණ්ඩුවේ නිවාසවල ඉන්නවා. ඒවා ගන්න ඕන නැද්ද? මොනවද මේ වටිනාකම්. අපි යහපත් දේශපාලන සංස්කෘතියක් මේ රටේ නිර්මාණය කරනවා. මේ රටේ ඕනෑ ම පුරවැසියෙකුට ආණ්ඩුවෙන් කාර්යක් කරගන්න ගියොත් කප්පං ගෙවන්න වෙනවා. ජාතික ජන බලවේගය මේ සියලුම දේ නතර කරනවා. හෝටලයක් දාන කෙනෙකුට සුදුසුකම් තිබෙනවා නම් අපි ඉඩමක් දෙනවා. හැබැයි කප්පම් ගන්නේ නැහැ. අපේ රටේ පුනර්ජනනීය බල ශක්තියට විශාල විභවයක් තියෙනවා. ඒ සඳහා එන ආයෝජකයෙකුට අවස්ථාව දෙන්න පගා දෙන්න ඕනේ නෑ. වැඩක් කරගන්න පගා දෙන්න ඕනෑ වෙන දේශපාලන සංස්කෘතිය ජාතික ජන බලවේගය අවසන් කරා. රාජ්‍ය නිලධාරීන්ගෙනුත් අපි ඉල්ලන පළමු දේ තමයි කොමිස් පගා ගැනීම නතර කරන්න. පුරවැසියන්ට අපි කියන්නේ ආණ්ඩුවෙන් වැඩක් කරන්න පගාවක් දෙන්න එපා. එහෙම ඉල්ලූවොත් අපිට කියන්න; ඉල්ලන කෙනා ගෙදර යවනවා. සාමාන්‍ය ජනතාවගේ වැඩේ ඉක්මනට කරලා දෙනවා.

අපි දේශපාලනයට අලුත් නැහැ

ගොවි ජනතාවට ඉඩම් දෙනකොට පසුගිය ආණ්ඩු කාලේ ඇමතිට පගා දෙන්න වුණා. මේ රට දූෂිත කොලනියක් බවට පත්වෙලා තිබුණා. රට යහපත් දිශාවට ගැනීමේ ප්‍රතිඵල අපි ජනතාවට ලබා දෙනවා. නමුත් රට පාලනය කරන්න ජනාධිපතිවරයෙකුට පමණක් බැහැ. ඒ සඳහා ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. මොණරාගල ඔබ ඉදිරිපත් කරන නියෝජිතයා සමග ප්‍රශ්න එවන්න. අපි විසඳලා දෙන්නම්. ඒ ඒ පළාත්වල ශක්තිමත් ජනතා නියෝජිතයෝ ඉන්න ඕනෑ. ඒවා පාර්ලිමේන්තුවට අරගෙන එන්න ඕනෑ. ඒ ඒ පළාත්වල තිබෙන සම්පත් මොනවාද? ඒවයින් කරන්න පුළුවන් මොනවද කියලා ඒ නියෝජිතයා පාර්ලිමේන්තුවට යෝජනා අරගෙන එන්න ඕනෑ. ඒ සඳහා ඔබේ පළාතේ නියෝජිතයන් මාලිමාවෙන් පාර්ලිමේන්තුවට එවන්න. නොවැම්බර් දාහතරවෙනි දා මොණරාගලින් පාර්ලිමේන්තුව මාලිමාවෙන් වැඩි මන්ත්‍රීවරුන් පිරිසකගෙන් පුරවන්න. මෙතන ඉන්න අය පාර්ලිමේන්තුවට අලුත් වුණාට දේශපාලනයට අලුත් නැහැ.

ඇමතිධුර විද්‍යාත්මක ක්‍රමයට

අපි පසුගිය මාස එකහමාර ඇතුළත ඉන්ධන, ගෑස්, පොහොර, හිඟයකින් තොරව ජනතාවට ලබාදීමට කටයුතු කරා. ප්‍රහාරයක් ගැන කතාවක් කරළියට ආවා. ඒ සම්බන්ධයෙනුත් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට අපි කටයුතු කරා . අනතුරක් පිළිබඳ තොරතුරක් එනව නම් ඒ අනතුරෙන් ජනතාව මුදාගැනීමට ආණ්ඩුවට වගකීමක් තිබෙනවා. අපි ඒ වගකීම ඉටුකරා. දෙදහස් දහනමයෙ පළපුරුදු ආණ්ඩුව මොකද කරේ? පුපුරන බව දැනගෙන හිටියා මෙච්චර පුපුරයි කියල දන්නේ නැහැ කියලා කිව්වා. ඒවා ආණ්ඩුද? ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කිරීමට අප කටයුතු කරා. රාජතාන්ත්‍රික නිලධාරීන් මුණ ගැසෙමින්  විදේශ ප්‍රතිපත්තිය ශක්තිමත් කරා. අපි දැන් මෙතනින් එහාට යා යුතුයි. නොවැම්බර් මාසේ දාහතරවෙනි දා ශක්තිමත් පාර්ලිමේන්තුවක් නිර්මාණය කර රට ඉදිරියට ගෙන යා යුතුයි. ජාතික ජන බලවේගයේ ඇමතිකම් හදන්නේ විද්‍යාත්මක ක්‍රමයටයි. ඒ සඳහා විශේෂඥ දැනුමක් සහිත පිරිසක් අපි අමාත්‍යවරුන් ලෙස පත් කරනවා. ඥාතිකම්වලට සහ මිත්‍රකම්වලට ඇමතිකම් ලබාදීමේ සංස්කෘතිය අපි නිමා කරනවා. අපේ ඇමතිවරුන්ට තියෙන්නේ වගකීමක් පමණයි. මේ රට ගොඩනගන මහජන පෙරමුණක් අප නිර්මාණය කරනවා. දේශපාලකයා, රාජ්‍ය නිලධාරියා, පොදු ජනයා එකතු කරගත් මහජන ව්‍යාපාරයක් ඇති කිරීමට ජාතික ජන බලවේගය නායකත්වය ලබාදෙනවා.

මම ජනාධිපති ඔබ පුරවැසියා නොවේ

ජනවාරි පෙබරවාරි වෙනකොට අලුත් වී අස්වැන්න නෙළනවා. නමුත් අලුත් අස්වැන්න නෙළන හැම කාලෙදි ම වුණේ සහල් මිල ඉහළ ගිය එකයි. එය පාලනය කරගන්න රජයේ ගබඩාවල වී තියෙන්න ඕනේ. නමුත් පසුගිය කාලේ පාලකයෙන් වී මිලදී ගෙන නැහැ. වී ගබඩා හිස්. සහල් මිල සම්බන්ධ නැවත මෙලෙස අර්බුදයක් ඇතිවීමට අප ඉඩ දෙන්නෙ නෑ. සියලු ගබඩා මේ වන විට අපි ප්‍රතිසංස්කරණය කරමින් තිබෙනවා. එළඹෙන මහ කන්නේ වැඩිම වී ප්‍රමාණයක් ආණ්ඩුව මිලදී ගන්නවා. එතකොට ආණ්ඩුවේ වී තොගයක් තිබෙනවා. මෝල් හිමියන් ගාවත් වී තොගයක් තිබෙනවා. එතකොට අපට පුළුවන් තරගයක් දෙන්න. එතකොට සහල් මිල සඳහා ඒකාධිකාරයක් හදන්න බැහැ. අපි සහල් මිලේ ප්‍රශ්නයත් වී මිලේ ප්‍රශ්නයත් විසඳීමට කටයුතු කරනවා. මම ජනාධිපති ඔබ පුරවැසියා නෙවේ. අපි සියලුදෙනා මහන්සි වෙලා අපේ දරුවන්ගේ පරම්පරාවට හොඳ රටක් නිර්මාණය කරමු. මේ රට ගොඩනැගීමකින් තොරව නැවත හරවන්න දෙන්නේ නැහැ. නොවැම්බර් දාහතරවෙනි දා විශාල ජයග්‍රගහණයක් මොණරාගලින් ලබාදෙන්න කියා ඔබට ආරාධනා කරනවා.’’



එකම සහෝදර කැලක් මෙන් එකමිටට


WhatsApp Image 2024 11 06 at 7.36.50 AM

මොහොමඩ් අබ්දුල් නිසාම්

ව්‍යාපාරික, මොහොමඩ් අබ්දුල් නිසාම්,

‘‘පසුගිය ජනාධිපතිවරණය වෙනුවෙන් වැල්ලවායේ පැවැති රැලියෙ දි අනුර කුමාර දිසානායක සහෝදරයා කිව්වේ ජනාධිපතිවරණයෙන් පසුව අනෙකුත් පක්‍ෂවලට ඡන්දය දුන් අය පවා අප වටා එක්කර ගන්නා ලෙසයි. මේ රටේ ජනතාව ගැන අනුර සහෝදරයාට තිබෙන ආදරය එයින් පැහැදිලි වූවා. අසල්වාසීන් සමග දේශපාලනයේ විරසකකම් ඇතිකර නොගන්නා ලෙස පැහැදිලිව ම කියා තිබෙනවා. බදුල්ලේ, දුන්හිඳ දී අනතුරට ලක් වූ බස්රථයේ සිටි දැනට බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන ඒ සිසු පිරිස බලන්න අපේ ජනාධිපති සහෝදරයා ගිය බව අපට දැනගන්නට ලැබුණා.

බලය රැකගන්න මොණරාගල දිස්ත්‍රික්කය තුළත් ජාතිවාදය, ආගම්වාදය පැතිරූ අය අපි පසුගිය ජනාධිපතිවරණයේ දීත් දැක්කා. අද අපට එහෙම ප්‍රශ්නයක් නැහැ. එකම සහෝදර කැලක් මෙන් එකමිටට ඒකරාශී වී සිටිනවා. කාලයක් නොයෙක් පක්‍ෂවලට බෙදිලා හිටිය මේ රටේ හැම පුරවැසියෙක්ම මහා මැතිවරණයේදී ජාතික ජන බලවේගයට ශක්තිමත් බහුතර බලයක් ලබා දෙන්න ඒකරාශී වන ලෙස ඉල්ලා සිටිනවා.’’

කාන්තාවන් පෙරමුණේ….

WhatsApp Image 2024 11 06 at 7.36.32 AM

චතුරි ගංගානි


ජාතික ජන බලවේගයේ මොනරාගල දිස්ත්‍රික් විධායක සභික, මොණරාගල දිස්ත්‍රික් අපේක්‍ෂිකා, චතුරි ගංගානි,
 
‘‘ලෝක දේශපාලනය තුළ අපේ රටේ ඉතිහාසය රන් අකුරින් ලියන ජයග්‍රහණයක් පසුගිය ජනාධිපතිවරණයෙ දි අපි අත්කර ගත්තා. මේ රටේ ජනතාවගේ හදවත ගැහෙන රාවය දැනෙන නායකයෙක් අපි ජනාධිපති ධුරයට පත් කර ගත්තා. ඒ ජයග්‍රහණය තුළ මේ දිස්ත්‍රික්කයේ ජීවත් වෙන; මේ රටේ ජීවත් වෙන ආදරණීය කාන්තාවන් තමන්ගේ යුතුකම නිවැරැදිව ඉටුකර තිබෙනවා. ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් වගේම මහ මැතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙනුත් කාන්තාවන් පෙරට ඇවිත් ඉන්නවා. දකුණු ආසියාවේ ම කාන්තාවන් දේශපාලනිකව සංවිධානය කරන්න පුළුවන් වුණේ ජාතික ජන බලවේගයට පමණයි. අපේ දියණියට, නැගණියට, අම්මාට රට ඇතුළේ මේ දක්වා සැකක් බියක් රහිතව ජීවත්වීමට නොහැකි තත්ත්වයක් පැවතුණා. ළමා අපයෝජන වැඩිම දිස්ත්‍රික්කය මේ මොණරාගල දිස්ත්‍රික්කය යි. ස්ත්‍රී අපයෝජන සහ ස්ත්‍රී දූෂණ විශාල ප්‍රමාණයක් සිදුකර තිබෙනවා. අපට ගෞරවනීයව ජීවත් විය හැකි ආරක්‍ෂිත රටක් මේ දක්වා බිහි කර නැහැ. ඒ නිසා ගැහැනු අපි එකමිටට එකතු වෙලා වඩාත් යහපත් රටක් නිර්මාණය කර ගැනීමේ වගකීම අපට තිබෙනවා. කර්මාන්ත ශාලාවල, ගාමන්ට්වල, වෙනත් ඕනෑම රැකියා කරන ස්ථානයක වාගේම ගොවි බිමේත් අපි අපේ දරුවන් වෙනුවෙන් ජීවිත හොයන්න අප්‍රමාණව වෙහෙස මහන්සි වෙනවා. සෙවණගල, පැල්වත්ත, ඇතිමලේ උක් කර්මාන්ත ශාලාවල ගැහැනිය කොතරම් දුක් විඳිනවාද?

“පොළොන් විෂ දළ උලුප්පා ගත් – උක් යායෙ පවා ගැටෙනවා

කටුක කටු හැර පතුල් තළමින් – රුහිරු බිඳු වැටෙනවා

ඒත් අපි උක් කපනවා”


උක් වතුවල ඉන්න පොළොඟුන් වැනි විෂඝෝර සත්වයන් මැද්දේ අපි අපේ පැටවුන්ට ජීවිතය හොයන්න විඳින වේදනා ගැන මේ කවියෙන් කියැවෙනවා. අපි අපේ පැටව් වෙනුවෙන් රටක් හදන්න, හෙටක් හදන්න යුතුකමක් සහ වගකීමක් තිබෙනවා. ඒ යුතුකම සහ වගකීම ඉටුකරන කාන්තාවන්ගේ ජීවිත කොතරම් ඛේදනීයයි ද? මේ තත්ත්වය වෙනස් කරන්න අපි එක් ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා. ඒ ජයග්‍රහණය තහවුරු කරන්න නොවැම්බර් 14 වැනිදා අපි අපේ පැටවුන්ට ශක්තිමත් අනාගතයක් ගොඩනඟන්න ක්‍රියා කරමු කියා ඉල්ලා සිටිනවා.’’
 
ඉතිහාසය පුරා ම දුටු සිහිනය

WhatsApp Image 2024 11 06 at 7.35.59 AM

සරත් කුමාර

ජාතික ජන බලවේගයේ දිස්ත්‍රික් විධායක සභික සරත් කුමාර,

‘‘ජනාධිපතිවරණය ජයග්‍රහණය කරපු අප ඉදිරියේ තවත් අභියෝග කිහිපයක් තිබෙනවා. අපේ මාතෘභූමිය බංකොලොත් කරපු චෞර දේශපාලන කඳවුර මෙරට ජනතාවගේ මහජන ධනය කොල්ලකා තිබෙනවා. ඒ මහා ධනය නැවත මේ ජනතාව වෙනුවෙන් අත්පත් කර ගන්න ඕනෑ. ඒ වෙනුවෙන් අලුත් නීති සම්පාදනය කරමින්, නීති ක්‍රියාත්මක කිරීමේ ආයතන අලුතෙන් පිහිටුවන්න ඕනෑ. ඊට අදාළව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන ගෙන එන්න ඕනෑ. ආර්ථික වශයෙන් බිඳදමා තිබෙන අපේ රට ආර්ථික වශයෙන් සමෘද්ධිමත් කරන්න සැලැසුම්, ප්‍රතිපත්ති මාලාවක් අප සකස් කර තිබෙනවා. ඒ සැලැසුම් ක්‍රියාත්මක කරන්න ශක්තිමත් පාර්ලිමේන්තුවක් ගොඩනඟන්න ඕනෑ.

අප ඉදිරියේ තිබෙන අභියෝග සියල්ල ජයගත හැක්කේ ශක්තිමත් පාර්ලිමේන්තුවක් ගොඩනැගීමෙන් පමණයි. ඒ වෙනුවෙන් අපි ඔක්කොම එකතු වෙලා සාමුහිකව ජයග්‍රහණය කරමු. ලෝක වාර්තාවක් තබමින්, තුන්දෙනකුගෙන් යුත් කැබිනට් මණ්ඩලය ජනතාවට අත්‍යවශ්‍ය සහන ලබා දෙමින්, ඉදිරියට ගෙන යමින් පවතිනවා. අපගේ සැලැසුම්වල කෙටිකාලීන ක්‍රියාමාර්ග දෙදහස් විසි පහ වසරේ ආරම්භ කරනවා. ඒ මගින් අපි හැමෝගෙම දරුවන්ගේ ජයග්‍රහණ ගෙන ඒම අප ආරම්භ කරනවා. මොණරාගල දිස්ත්‍රික්කයේ ආර්ථික වශයෙන් දුබල කර සිටින ජනතාව සවිබල ගැන්වීම අප හැමෝගෙම වගකීමක්. ඒ වගකීම ඉටු කිරීම වෙනුවෙන් ඉතිහාසයක් පුරා අප දැකපු හීනය හැබෑ කිරීමේ හැකියාව තිබෙන මිනිසුන් සිටින මාලිමාවේ අපේක්‍ෂකයන්ගෙන් පාර්ලිමේන්තුව පුරවමු කියන ඉල්ලීම කරනවා.’’

සතුටින් ම ඉන්න මිනිසුන්ගේ රට


WhatsApp Image 2024 11 06 at 7.35.44 AM

තිස්ස ආරියරත්න

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, මහා මැතිවරණ අපේක්‍ෂක තිස්ස ආරියරත්න

‘‘මේ ධාරාණිපාත වැසි සමයේ මෙතැනට රොක් වී සිටින මහ පොළොවත් එක්ක පොරබදන අපේ අම්මලා, තාත්තලා ඔබ සැමදෙනාට අපි අපේ ගෞරවය පිරිනමනවා. අපි බාර ගත්තේ බංකොළොත් රටක් බව අප හැම දෙනාම දන්නවා. ඒ රට කෙටි කාලයක් තුළ ගොඩනැගිය නොහැකි බව අපි හැමදෙනා ම දන්නවා. නමුත්, ජනාධිපති, අනුර සහෝදරයා සමග අපි හැම දෙනාම එකාවන්ව පොරබදලා රට ගොඩනැගීමට කැප වෙනවා. ඒ වගේම ලංකාවේ දුප්පත්කමින් දෙවැනි දිස්ත්‍රික්කය හැටියට තිබෙන මොණරාගල එම තත්ත්වයෙන් මුදාගන්නත් පොරබදනවා. අපේ ආණ්ඩුවේ අවුරුදු පහ ඇතුළත ලංකාව ආසියාවේ සතුටින් ම ඉන්න මිනිසුන්ගේ රට බවට පත් කරනවා. ඒ වෙනුවෙන් පොරබදන්න, කැප කිරීම් කළ හැකි උගත්, බුද්ධිමත් කණ්ඩායම් ඔබේ අපේක්‍ෂකයන් හැටියට ඉදිරිපත් වී සිටිනවා.

අපේ දරුවන් වෙනුවෙන් හොඳ අනාගතයක්

අපේ අපේක්‍ෂකයන් කිසිම කෙනකුට විරුද්ධව පොලිස් පොතක එක පැමිණිල්ලක්වත් ලියැවිලා නැහැ. අපේ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් කර සිටින නවදෙනා ම උපාධිධාරීන්, විද්වතුන් වාගේම අත්දැකීම් බහුල කණ්ඩායමක්. රට ගොඩ ගන්නවා වාගේම මේ දිස්ත්‍රික්කයත් ගොඩ ගැනීමේ හැකියාව අප සියලු දෙනාටම තිබෙනවා. මේ දවස්වල අපි දිස්ත්‍රික්කය පුරාම ගෙන් ගෙට ඡන්ද ප්‍රචාරයේ යෙදෙනවා. ඒ ගමන්වල දී කරගැට පිරුණු දෑත්වලින් අපව බදාගෙන, දහදිය සුවඳින් පිරුණු සිරුරුවලින් අප ඉදිරියට ඇවිත්, පොදුවේ එකම කතාවක් කියන්නේ. අපේ දරුවන් වෙනුවෙන් හොඳ අනාගතයක් ගොඩනගලා දෙන්න කියන ඉල්ලීම විතරයි ඔවුන් කරන්නේ. අපි ඒ ඉල්ලීම නිසැක වශයෙන්ම ඉටු කරන බව තහවුරු කරනවා.’’

පක්‍ෂ, පාට පසෙකට ලූ ජනතාව


WhatsApp Image 2024 11 06 at 7.36.16 AM

ආර්. එම්. ජයවර්ධන

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, මොනරාගල දිස්ත්‍රික් කණ්ඩායම් නායක, ආර්. එම්. ජයවර්ධන

‘‘ඌව වෙල්ලස්ස ගොඩනගන බව කියමින් බලයට පැමිණි නායකයෝ හිටියා. විශේෂයෙන්ම මොණරාගල දිස්ත්‍රික්කය පොහොසත් දිස්ත්‍රික්කයක් බවට පත් කරන බවත් කිව්වා. නමුත්, පසුගිය කාලය පුරාම මොනරාගල දිස්ත්‍රික්කයේ ස්වාභාවික සම්පත් ඇතුළු සාරය උරාගන්න ඔවුන් වැව් තාවුලු පවා හෙළිපෙහෙළි කළා. ඔවුන් ආවේ අපේ ශක්තිය, අපේ ජවය සූරාගනිමින්, ඔවුන්ගේ ජීවිත ගොඩනඟා ගැනීමට බව තේරුම් ගත් ජනතාව පසුගිය සැප්තැම්බර් විසි එක්වෙනි දා ජයග්‍රාහී දිනයක් ලෙස තෝරා ගත්තා. පක්‍ෂ, පාට පැත්තක තබා, සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ජාතිකත්වයන් පැත්තක තිබ්බා. ඒ වාගේම සියලුම ආගමික නායකයන් එකට එකතු වුණා.

මන්ත්‍රී ධුරයට අවම අස්ථාවක්…?

කාන්තාවන් එකමිටට එකතු වුණා. ගොවියෝ එකතු වුණා. වෙනත් වෘත්තිකයන් එකතු වුණා. මේ සියලුම දෙනා එකමිටට එකතු වෙලා මේ රට බංකොලොත් කළ පාලකයන් සියලු දෙනාව ම නැවත පැමිණිය නොහැකි ලෙස පලවාහරින්න සමත් වුණා. ඒ ගැසූ කතිරයේ බලයෙන් මේ මැතිවරණයට ඉදිරිපත් වන්නට සිටි මේ දිස්ත්‍රික්කයේ අපේක්‍ෂකයන් හයදෙනකුට ගෙදර නවතින්න සිදුවුණා. ඒ අතර ශෂීන්ද්‍ර රාජපක්‍ෂ, සොයිසා ඇතුළු කට්ටිය මන්ත්‍රීකමක් ගන්න පොඩි චාන්ස් එකක් හරි තියෙනවද බලන්න මනාප ඉල්ලනවා. නමුත්, ගෙවල් දහයකට විතර ඇවිදලා, ආපහු හැරී යන තත්ත්වයට ඔවුන් ඇදදැමීමට සමත් වුණෙ ඔබ සියලු දෙනාගෙ කතිරය යි. ඒ අතර මේ වේදිකාවේ සිටින අපේක්‍ෂකයන් නවදෙනා අතුරින් අවම වශයෙන් පස්දෙනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තෝරා යවන බව ස්ථිරයි. අවුරුදු හැත්තෑහයක් තිස්සේ අපේක්‍ෂා කළ ජීවිතයක් ගොඩනඟා ගැනීම වෙනුවෙන් ඒ අපේ සහෝදරවරු කැප වීමෙන් ක්‍රියා කරනවා. අපි හැමදාම සිත් රිදවා ගනිමින්, දුක් විඳපු මිනිසුන්. ඒ යුගය නිමා කිරීමේ කාර්යභාරයට අප සියලුදෙනා එකාවන්ව පෙළගැසී සිටිනවා.

අපි රට ගොඩනගන විදිය…

රට බංකොළොත් බව දෙදහස් විසි දෙකේ අප්‍රේල් දොළොස්වෙනි දා ප්‍රකාශයට පත් කරපු පාලකයන් පලවාහැරීමට මේ රටේ ජනතාව සමත් වුණා. ඒ ජනතාව වෙනුවෙන් අපි මේ රට හදනවා; ගොඩනගනවා. අපි මේ රට ගොඩනඟන්නේ මෙතෙක් සිටි පාලකයන් හිතන මතන විදියට නොවෙයි. අපි මේ රට ගොඩනගන්නේ දුක් විඳින අහිංසක ජනතාවගේ සහභාගීත්වය සහිතව ඒ ජනතාවත් එක්ක එකට අත්වැල් බැඳ ගැනීමෙන්. අපි ඒ කාර්යභාරය ඉටු කරන කොට ඔවුන්ගේ සිත් රිදෙනවා; වේදනාවට පත් වෙනවා. ඔවුන්ට ඒ සිත් රිදවීම්, වේදනාවන් දැනෙන්න ඕනෑ. පසුගිය ජනාධිපතිවරණයෙ දි අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් ලෝකය පුරාම විසිරී සිටින ශ්‍රී ලාංකිකයන් වාගේම රට ඇතුළෙ සියලු ම ජනතාවත් එකට එක් වී සිටියා. ඒ ජනතාව මහා මැතිවරණයෙ දි තවත් ශක්තිමත් බලයක් ලබා දී රට ගොඩනැගීමට කැප වන බව ස්ථිරයි. ජනාධිපතිවරණයෙ දි ජනතාව අපට ජයග්‍රහණය ලබා දුන්නේ බැංකු ගිණුම් තහනම් කරන බව, වාහන, ගෙවල් රජයට අත්පත් කර ගන්නා බව වගේ ම බුද්ධාගම සම්බන්ධයෙන් තහනම් ක්‍රියාමාර්ග ගන්නා බවටත් බොරු ප්‍රචාර යැවූ පසුබිමක යි. නමුත්, අපට විරුද්ධව ඡන්දය දුන් කිසිම කෙනකුගේ සිතවත් නොරිද්දා එක රැයකින් ඓතිහාසික ආදර්ශයක් ලබා දුන්නා. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකක්ද කියලා අපි තහවුරු කළා. ඒ සියල්ල කළේ අපි මේ රටේ සමස්ත ජනතාවටම ආදරය කරන නිසයි.

යහපත් ජීවිතයක් පිළිබඳ සිහිනය

මොණරාගල දිස්ත්‍රික්කයේ නිෂ්පාදනය ඉලක්ක කරගත් ආයතන කිහිපයක් තිබෙනවා. සෙවණගල ෆැක්ටරිය, පැල්වත්ත සීනි සමාගම වාගේම පෞද්ගලික අංශයට අයිති ඇතිමලේ සීනි සමාගම මේ දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙනවා. ලංකාවේ තිබෙන ප්‍රධාන සීනි නිෂ්පාදන කර්මාන්ත ශාලා අතුරින් තුනක්ම පිහිටා තිබෙන්නේ මේ දිස්ත්‍රික්කයේ. ඒ වාගේම වැව් දියෙන් වගා කරන ගොවීන් වී, එළවළු, පළතුරු වගා කරමින්, මේ රටේ ආර්ථිකයට දායක වන මිනිසුන් ඉන්නේ. තණමල්විල පැත්තේ මිරිස්, රතු ලූනු, රටකජු ඇතුළු ප්‍රමුඛ භෝග වගා කරනවා. බිබිල, බඩල්කුඹුර, මැදගම ප්‍රදේශවලට යන කොට රබර්, ගම්මිරිස් පවා හිටවනවා. අවුරුදු හැත්තෑ ගණනක් පුරා අපේ ආදරණීය අම්මා, තාත්තලා මේ ආකාරයෙන් කවර හෝ නිෂ්පාදන ආර්ථිකයක යෙදී සිටියාට යහපත් ජීවිතයක් ගැන දශමයකවත් දෙයක් දැනිලා නැහැ.

පලතුරු අපනයන ගම්මානයක්

දකුණු වෙරළ තීරයේ සිට ඇල්ල, බණ්ඩාරවෙල දක්වා යන සංචාරකයන් වෙනුවෙන් හුවමාරු මධ්‍යස්ථානයක් බවට වැල්ලවාය වර්ධනය කිරීමේ සැලැස්මක් අපට තිබෙනවා. ඒ වාගේම මැදගම ප්‍රදේශයේ ඉතාමත් සරුසාර රඹුටන් පළදාවක් ලැබෙන බව අප කවුරුත් දන්නවා. අනෙක් පළාත්වල රඹුටන් අවාරය එන කොට මෙහේ රඹුටන් අස්වැන්න රුපියල් දහයකට, දොළහකට එක ගෙඩියක් අලෙවි කිරීමේ හැකියාව තිබෙනවා. ඒ වාගේම සිංගප්පූරුව බඳු රටවලට අපනයනය කරන්නත් සමත් වූ පිරිසක් ඉන්නවා. තනි තනි ව්‍යාපාරිකයා කරගෙන යන මෙම අපනයනය, පලතුරු අපනයන ගම්මානයක් බවට පත් කිරීමට අපි සැලැස්මක් සකස් කරමින් සිටිනවා. මැදගම ප්‍රදේශයේ මැංගුස්, දූරියන් යනාදි පළතුරු වර්ග සශ්‍රීකව හැදෙනවා. ඩෝල් ලංකා සමාගම කෙසෙල් අපනයනය කරන කොට අපේ ගොවියාගේ කෙසෙල් ලෝකයට අපනයනය කළ හැකි තත්ත්වයක් මෙතෙක් සිටි පාලකයන් සකස් කර දුන්නේ නැහැ. මේ ආකාරයට රට ගොඩනැගීමේ සමස්ත වැඩපිළිවෙළක් ජාතික ජන බලවේගය සකස් කර තිබෙනවා. එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර රට ජයග්‍රහණය කරා ගෙන යාමට, ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ගොඩනැගීමට එළැඹෙන දාහතරවෙනි දා මහා මැතිවරණයෙන් ශක්තිමත් බහුතර පාර්ලිමේන්තු බලයක් අපට ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.’’