වත්මන් ජනාධිපතිවරයා විසින් සිදුකරන ලද දුෂණ වංචා සම්බන්ධ ලිපි ගොණු දෙකක් තමන් සතුව ඇතැයි ජාතික ජනබලවේගයේ නායකයා ජපානයේ දී හෙළි කර තිබේ.

පසුගිය යහපාලන සමයේ ස්ථාපිත කල දූෂණ මර්දන ලේකම් කාර්යාලයට එවක අගමැති රනිල් වික්‍රමසිංහ සම්බන්ධව පැමිණිළි ලැබුන බව ද අනුර කුමාර දිසානායක ජපානයේ Tsukuba ශ්‍රී ලාංකික ජනහමුව අමතමින් කියා සිටියේය.

“අලුත් පැමිණිලි ලැබීම නිසා රනිල් වික්‍රමසිංහ මේ කාර්යාලය වසා දැම්මා. ඒ විතරක් නොවෙයි, රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙනුත් පැමිණිලි ආවා. රනිල් වික්‍රමසිංහගේ ෆයිල් දෙකක් ඇතුළුව සියලු පැමිණිලි පිළිබඳ තොරතුරු මා සතුව තිබෙනවා. නිතිය හමුවට ඔවුන් ගෙන යන අතර, පවරා ගත හැකි හැම දේපළක්ම පවරා ගන්නවා.”

දූෂණ මර්දන ලේකම් කාර්යාලයට එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරුන් සිදුකරන දුෂණ වංචා සම්බන්ධව පැමිණිළි ලැබීමට ආරම්භ වීමත් සමග එම කාර්යාලය වසා දැමීමට රනිල් වික්‍රමසිංහ කටයුතු කළ බවට ද ජාජබ නායකයා චෝදනා කළේය.

දුෂණ වංචා සම්බන්ධයෙන් පමණක් නොව අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් ද තම රජය යටතේ පරික්ෂණ ආරම්භ කර ඊට වගකිය යුත්තන් හට දඬුවම් කරන බව ද අනුර කුමාර දිසානායක පැවසීය.


“කාලයේ වැලි තලාවෙන් යට කරන්න උත්සාහ කරන අපරාධ රැසකුත් තිබෙනවා. ලසන්ත වික්‍රමතුංග, තාජුඩීන්, එක්නැලිගොඩ වැනි ඝාතන වගේම දේශපාලන කුමන්ත්‍රණ වෙනුවෙන් පාස්කු ප්‍රහාර එල්ල කිරීම වැනි අපරාධ සම්බන්ධයෙන්ද නිසි පරිදි පරීක්ෂණ සිදුකොට අධිකරණය හමුවට ඉදිරිපත් කරනවා.”

මෙරට පාතාලය මෙහෙයවනු ලබන්නේ දේශපාලකයන් බවට චෝදනා කළ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඒ සියල්ල සම්බන්ධයෙන් නිසි පරිදි පරීක්ෂණ පවත්වා නීතිය හමුවට ගෙන එන බවට වැඩිදුරටත් පොරොන්දු විය.


anura 1anura 3