ලංකාවේත් ලෝකයේත් වෙසෙන සියළු දෙනා අනුර කුමාර දිසානායක මහතා දැනටමත් මේ ජනාධිපතිවරණය දිනල ඉවර බව දන්නා බවයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් කියන්නේ. ඔහු කියන්නේ දැන් කළ යුතුව ඇත්තේ ඒ ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරීමේ කාර්යය බවයි.

“වැඩිම ඡන්ද අරගෙන පාර්ලිමේන්තුවට ගිය ප්‍රසන්න රණතුංග අද රනිල්ගේ ඔඩොක්කුවේ. මහ බැංකුව කොල්ලකාපු එකා රට වට්ටපු එකා කියල තමයි එදා ප්‍රසන්නලා රනිල්ට බැන බැන ඡන්ද එකතු කළේ. දැන් රනිල්ගේ දෙපතුල් ලෙවකනව. ලැජ්ජයි නේද

අනෙක් කෙනා ගම්පහ දිස්ත්‍රික්යේ වැඩිම මනාප ගත්ත කෙනා. ගෝඨාභයගෙ හිතවතා, උගතා. වියතා කියල කිව්ව නාලක ගොඩහේවා දැන් සජිත්ගේ ඔඩොක්කුවේ. ලැජ්ජාවක් නැද්ද; ලැජ්ජ නෙමෙයි අප්‍රසන්නයි. යුඑන්පී එක දෙකට ඛෙදුනා. රනිල් පිල හා සජිත් පිල කියල. ඒ පලු දෙකේ දෙපැත්තේ වැලේ වැල් නැති එවුන් එක එකා ගිහිල්ල එල්ලෙනවා.

කවුරු කොයිපැත්තට පැන්නත් ජනතාව ඒ ගොල්ලන් එක්ක නෑ. ජනතාව ඉන්නේ අපි සමඟයි. ඒක ඉර හඳවගේ විශ්වාසයි. ලබන 21 වෙනිදාට අපි ඒක ඔප්පුකරල පෙන්වනවා. මුළු රටේම ජනතාව අද ඉන්නේ මේ රට ගොඩනගන ජාතික ජන බලවේගය පැත්තේ.

අපි මේ රටේ ජනතාවට සහතික කරල කියනව සැප්. 23 වෙනිද වෙනකොට සාගල, ගොඩහේව, ප්‍රසන්න ඇතුළු නඩයට මහජන මුදල් කාබාසිනියා කරමින් ප්‍රභූ ආරක්ෂක වළලූ වලින් වටවී මෙතෙක් කල් ගෙනගිය ඔය ජඩ දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කරන බව. ජනතාවගෙන් පිදුම් ලබමින් සිටින මේ හොරුන්ගේ දේශපාලන සංස්කෘතිය අපි සහමුලින්ම වෙනස් කරනවා” යි විජිත හේරත් මන්ත්‍රීවරයා පවසනවා.