මහ වැසි නොතකා පැමිණ සිටි දස දහස් සංඛ්‍යාත ජනතාව සහතික කර සිටින්නේ ලබන සැප්තැම්බර් 21 වැනිදා ජයග්‍රහණය නියත බව යයි ‘රුහුණ පෙරට – රට අනුරට’ ජාතික ජන බලවේගයේ මංගල මහ රැලිය අමතමින් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා. ඊයේ (17) එම ජන රැලිය පවත්වනු ලැබුවේ තංගල්ල බස් නැවතුම්පොළ අසල දී යි.
“සැප්තැම්බර් 21 කියන්නේ මේ රට වෙනස් කරන ජාතික ජන බලවේගය දිනවන දිනය යි. අපි ඔබෙන් ඉල්ලා සිටිනවා, ජයග්රහණයෙන් පසු සාමය ප්රජාතන්ත්රවාදය ඉහළින්ම ආරක්ෂා කරන්න කියලා. කිසිවෙකුගෙන් පෞද්ගලිකව පළිගන්න අපිට අවශ්‍ය නැහැ.
මේ පාලකයින් විසින් අපට උරුම කර දී තිබෙන්නේ රටේ සියලු ජනතාවගේ බලාපොරොත්තු බිඳ දැමූ රටක්; අපකීර්තියට භාජනය කරන ලද රටක්. මේ අසාර්ථක පාර දිගේ තවදුරටත් ගමන් කරනවාද, නැතිනම් මෙයින් මිදිලා නව රට ගොඩනඟන මාවතක යනවද කියලා දැන් මේ රටේ ජනතාව තීන්දු කර අවසන්.
පාලකයන් ප්‍රජාතන්ත්‍රවාදීව ජනතා මතයට ඉඩ දිය යුතුයි. රටේ ජනතාව වෙනුවෙන් යුක්තිය, සාධාරණ ඉටුකිරීමට අපි බැඳී සිටිනවා. අපරාධකරුවන්ට නීතිය අපි අකුරටම ක්‍රියාත්මක කරනවා. ඒක සහතිකයි. සියලු අපරාධවලට අදාළ පරීක්ෂණ නිසි පරිදි පවත්වලා අපරාධකරුවන්ට අකුරටම නීතිය ක්‍රියාත්මක කරනවා. අපි හදන්නේ ජනාධිපතිවරයාගේ සිට සියලු දෙනාම නීතියට යටත් රටක්. නීතිය ඉදිරියේ සියලු දෙනාම සමාන රටක්. ඒ හදන රට වංචනිකයන්ට, දූෂිතයන්ට, අපරාධකරුවන්ට දේශපාලන බලය පාවිච්චි කොට වෙට්ටුදාලා පැනලා යන්න පුළුවන් රටක් නොවෙයි.
වංචාව, දූෂණය, නාස්තිය, අපරාධ නතර කර ගැනීමට ජනතාව තුළ තිබෙන දැඩි අපේක්ෂාව ඉටුකරන මේ රටේ එකම බලවේගය ජාතික ජන බලවේගයයි. අපිට අවශ්‍යයි ලෝකය සමඟ ඉදිරියට යන්න පුළුවන් රටක්. අද අපේ රට මේ පාලකයෝ විසින් ලෝකය ඉදිරියේ අපකීර්තියට පත්කරලා ඉවරයි. රටක් දියුණු වෙන්න නම් ගොවියගේ, ධීවරයාගේ, ව්‍යවසායකයාගේ, කර්මාන්තකරුවාගේ, අපනයනකරුවාගේ ආදායම වැඩිදියුණු විය යුතුයි. ඔවුන්ගේ ඉපයීම් මාර්ග ශක්තිමත් විය යුතුයි. නියත වශයෙන්ම අප එය ඉටුකරනවා. එය ඉටුකිරීමට සැලසුම් පමණක් නොවෙයි, ඒවා ක්‍රියාත්මක කිරීමට හැකියාව, දැනුම, අත්දැකීම් තිබෙන විවිධ ක්ෂේත්රවල නිපුණතා තිබෙන, ශක්තිමත් විද්වත් මඩුල්ලක්ද අපට සිටිනවා. අපේ රටේ අපනයනකරුවන්ට ලෝක වෙළඳපොළෙන් පංගුවක් හොයාදීමේ වගකීම අපේ ආණ්ඩුවක් භාර ගන්නවා. අපේ කර්මාන්ත ක්ෂේත්රය මෙන්ම කෘෂිකර්මාන්ත ක්ෂේත්රයද නවීකරණය විය යුතුයි. ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ජාතික ජන බලවේගය ආණ්ඩුවකින් අපි ලබාදෙන බවට සහතික වෙනවා.
ලෝකයේ නව දැනුම අපේ රටේ දරුවන්ට, ලබාදීමේ අවස්ථා අපි අනිවාර්ය ලෙසම විවෘත කරනවා. ජනතාව ගුණාත්මක ඖෂධ ලබාදීමේ සැලැස්මක් අපි සතුව තිබෙනවා. ගුණාත්මක මෙන්ම, පහසු මිලට ඖෂධ මිලදී ගැනීමේ වාතාවරණයක් අපි රටේ ජනතාවට සලසා දෙනවා. නැවත කිසිදිනෙක රටේ ඖෂධ මාෆියා, ඖෂධ වංචා ඇතිවීමට අපි ඉඩ තබන්නේ නැහැ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බලයට ආ පළමු මොහොතේම අපි අපේ රටේ දූ දරුවන්ගේ පාසල් පොත් සහ සියලු උපකරණවලට පනවා තිබෙන බදු සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා. දරුවෙක් ඉගෙන ගැනීමට බද්දක් ගෙවිය යුතුද? ඉගෙන ගැනීම කියන්නේ රටේ ආයෝජනයක්. රෝග පරීක්ෂාව සඳහා රෝගීන්ගෙන් අයකරන වැට් බද්ද අපි අපේ පළමු අයවැයෙන්ම ඉවත් කරනවා. අවුරුදු හතරක් පහක් අප එකට පොරබදලා මේ රට වෙනස් කරමු. මේ අපි පළමු වරට රට පොහොසත් වෙන, ජනතාවට සතුටින් ජීවත් වෙන ඉඩ සලසන ආණ්ඩුවක් හදනවා. මෙතෙක් විවිධ පක්ෂවලට ඡන්දය දීපු රටේ ජනතාවට ආරාධනය කරනවා අපිත් එක්ක එකතු වෙන්න. ඔබට ගෞරවයක් ඇතිව සිටිය හැකි තැන මෙතනයි. ඒක ගෞරවනීය ආරාධනයක්. මේ බිඳ වැටුණු රට ගොඩගැනීම අපි සියලු දෙනා එකට එකතු වෙලා ඉටුකළ යුතු කර්තව්‍යයක්. ඒ වෙනුවෙන් මැදිහත් වෙන්න. පෙරට එන්න කියලා මම තංගල්ලේ ජනතාව ඇතුළු රටේ සියලු ජනතාවටම ආරාධනා කරනවා” යි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.