ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක පසුගිය මස අවසාන භාගයේ කැනඩාවේ සංචාරය කරන අතරතුර එහි සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව විශාල පිරිසක්ද ජන හමුවලට සහභාගී වීම පිළිබඳ සහ එම ජනහමුවලදී ඉදිරිපත් කළ කරුණු පිළිබඳ ප්‍රවීණ සාහිත්‍යවේදී චන්ද්‍රරත්න බණ්ඩාර පල කර තිබූ විමර්ශනාත්මක සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වෙමින් පවතී.

එය සම්පූර්ණයෙන් උපුටාගෙන ලංකා ඊ නිව්ස් වෙබ්අඩවියද පල කර තිබූ අතර එය පහත දැක්වේ.

“ටොරොන්ටෝ පුරවරයේ පමණක් නොව බ්‍රිටිස් කොලොම්බියා ප්‍රාන්තයේ වැන්කුවර් නගරයේ ගෙවී ගිය මාර්තු 23 හා 24 ශ්‍රී ලාංකික ප්‍රජාවට අදාළ ඓතිහාසික යමක් සිදු විය.

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා පිළිගැනීමට මාර්තු 22වෙනි දින දෙසීයකට ආසන්න පිරිසක් ටොරොන්ටෝවේ පියර්සන් ගුවන් තොටුපලට රැස්වූහ. ඔවුන් සමහරුන් අත මල් කලඹ හා මල් මාලා ය. පැමිණ සිටියවුන්ගෙන් හරි අඩකට සමාන පිරිසක් දමිළ සහ මුස්ලිම් සහෝදර සහෝදරියන්ගෙන් සමන්විත වූහ. මා වෙත සමීප වූ දීර්ඝ කාලීනව ටොරොන්ටෝ නුවර ජනතා විමුක්ති පෙරමුණු දේශපාලනයේ නියැලි සහෝදරයෙක් පැවසුවේ “අනුර සහෝදරයා 2009 වසරේ මෙහි පැමිණෙන විට ඔහුගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ රැස්වීමට සහභාගි වූයේ හරියටම එකසිය එක් දෙනෙකු පමණකි. එහෙත් අද මෙතන ම දෙසීයකට ආසන්න පිරිසක් ඉන්නවා.”

ජාතික ජන බලවේගයේ කැනඩා ශාඛාවේ ටොරොන්ටෝ වාසී සහෝදරවරු මාස කිහිපයක් තිස්සේ මෙම රැස්වීම සාර්ථක කර ගැනීමට මහන්සි වූහ. එහෙත් ඔවුන්ගේ මුල් තක්සේරුව වූයේ පන්සියයක පමණ ජනතා සහභාගිත්වයකි. එහෙත් ඒ ඉලක්කය අභිබවා ගියේ හතර ගුණයක් ඉක්මවූ ජන සහභාගිත්වයක් සහිතවය.

විද්‍යුත් පරිවර්තක මෙවලමක් දුන්නා…

ඉතිහාසයේ බොහෝ අවස්ථාවල රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන විසින් සංවිධානය කෙරෙන ක්‍රියාකාරකම්වලට දෙමළ ජනතාව කැඳවා ගැනීමට දැරූ උත්සාහයන් මා දැක ඇත. එහෙත් ඒවා සාර්ථක වූයේ ස්වල්ප ප්‍රමාණයකිනි. එහෙත් කැනඩා ඉතිහාසයේ පළමුවරට දෙමළ ජනතාවට ජාතික ජන බලවේගය විසින් කරන ලද ආරාධනාව පිළිගෙන තිබුණි. ටොරොන්ටෝ නුවර පිහිටා ඇති සෑම සුපිරි වෙළඳ සැලැක්ම පාහේ අයත්වන්නේ දෙමළ ජාතිකයින්ටය. දෙමළ බසින් මුද්‍රණය වුණු පෝස්ටර් ප්‍රදර්ශනය කිරීමට අයිතිකරුවෝ කැමැත්තෙන් එකඟ වූහ. එවැන්නක් මීට පෙර ටොරොන්ටෝ ඉතිහාසයේ මා නම් දැක නැත. ජනයා සිය පාරිභෝගික අවශ්‍යතා සපයා ගැනීමට මෙම සුපිරි වෙළඳසැල් කරා එන සිකුරාදා හා සෙනසුරාදා දිනවල පත්‍රිකා බෙදමින් කළ ප්‍රචාරය සාර්ථක වූ බව රැස්වීමට පැමිණ සිටි දෙමළ ජන සමූහයෙන් පෙනේ. සිංහල නොතේරෙන සෑම දෙමළ ජාතිකයෙකුට ම විද්‍යුත් පරිවර්තක මෙවලමක් ලබාදීමට කටයුතු සංවිධානය කෙරිණි.

ටොරොන්ටෝ මහ රැළියට පෙර දා සෙ.මී. පහළොවක අභූත හිම පතනයක් ඇති විය. එහෙත් පසුදා සෘනාංශක එකට උෂ්ණත්වය තිබියදීත් හිම දිය වී රැස්වීමට ජනයාට සහභාගි විය හැකි පරිසර තත්ත්වයක් උදාවිය. මේ කරුණු මා සටහන් කළේ අපගේ මිතුරෙකු මුහුණ පොතේ පළ කළ පෝස්ටුවක් මතක් වූ හෙයිනි. එහි සඳහන් වූයේ මෙවැන්නකි. “හෙනහුරා කැනඩාවට හිඟමනේ ගියා විතරයි ඉඩෝරය නිමා වෙලා ලංකාවට වහින්න ගත්තා.” යනුවෙනි ඒ.

ජිප්සීස්, භාතිය සංතුෂ් වැනි ජනප්‍රිය සංස්කෘතිය නියෝජනය කරන ප්‍රසංගයකටත් වඩා සෙනගක් මෙසේ රැස්වූයේ ඇයි? ඒ මහා සෙනග අතර සියලු පක්ෂවලට ලැදිව කටයුතු කළ විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂගේ ඡන්දයට ක්‍රියාකාරීව සහභාගී වූ බොහෝ දෙනෙකුම රැස්වීමට සහභාගි වී සිටිනු දැකිය හැකි විය.

අවුරුදු හතළිහක් තිස්සේ බලාපොරොත්තු වූ වචන…

ලංකාවේ දේශපාලන ප්‍රභූ පවුලකට අයත් දැනට කැනඩාවේ නීතිඥයෙකු ලෙස කටයුතු කරන මහත්මයෙකු මගේ අත අල්ලාගෙන හැඟීම්බරව පැවසුවේ “අද මම ඇහුවේ අවුරුදු හතළිහක් තිස්සේ දේශපාලඥයෙකුගේ කටින් පිටවීමට බලාපොරොත්තු වූ වචන” යනුවෙනි.

සංවර්ධන ක්‍රියාවලියේ දී , වාර්ගික ප්‍රශ්නයන්ට සංවේදී වීමේ දී , සෑම පුරවැසියෙකුගේ ම අයිතීන් කෙරෙහි සහතික වීමේ දී, යාවත්කාලීන වන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක ප්‍රතිලාභ භුක්ති විඳින කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකික ජනයා , ඊට සමාන සහනශීලී අනාගතයක් තමාගේ මව්බිමේ වෙසෙන නෑදෑ හිත මිත්‍රාදීන්ට මාලිමා ආණ්ඩුවකින් ලැබෙනු ඇතැයි යන බලාපොරොත්තුවක් ජනිත කිරීමට අනුර දිසානායක මහතා සමත් විය.

කෘෂිකර්මය නවීකරණය කිරීම පිළිබඳ මාලිමා නායකයාගේ නූතන අදහස් නැසී ගිය ආචාර්ය එන්.එම්.පෙරේරා දැක්වූ නූතනවාදී අදහස් වලට සමාන බව පැවසුවේ අදටත් සමසමාජය කෙරේ බුහුමන් දක්වන සහෝදරයෙකි.

යුද්ධය තවදුරටත් ලාංකීය න්‍යාය පත්‍රයේ තිබිය යුතු නැති බවත් යුද්ධයෙන් ලද තුවාල සුවපත් කිරීමේ වෙහෙසකර උත්සාහයක් අප විසින් දැරිය යුතු බවත් ඔහු පැවසීය. 1994 ඡන්ද ව්‍යාපාරයේ දී චන්ද්‍රිකා බණ්ඩාරනායක ‘දෙමළාට දෙමළ වීම නිසා ගැටළුවක් ඇත’ යන්න පැවසුවා අපට මතකය. එසේ පැවසීම නිසා ඇගේ ඡන්ද පෝස්ටර් මත මොට්ටු තැබූ මතකයක් අපට තිබේ. ජන බලවේගයේ නායකයා චන්ද්‍රිකාට වඩා පරිණත බවකින් හා සංයමයකින් යුතුව, සවිස්තරාත්මකව කරුණු ගෙන හරිමින් පැවසුවේ ජාතිවාදය දුරලීම රට යථා තත්ත්වයට පත් කිරීම හා බැඳී පවතින අත්‍යාවශ්‍ය සැපිරීමක් බවකි.

වඩාත්ම පරිනත හා වඩාත්ම බලපෑම් සහගත කතා දෙක…

අනුර පරෙස්සමට හා වගකීමෙන් යුතුව කතා කිරීම දිනෙන් දින දියුණු කරගන්නා අයුරු දක්නට තිබේ. ඇතැමුන්ගේ අදහස වූයේ මෙතෙක් ඔහු කළ කතා අතරින් වඩාත්ම පරිනත හා වඩාත්ම බලපෑම් සහගත කතා දෙක ටොරොන්ටෝ හා වැන්කුවර් නගර දෙකෙහි කළ ඇමතීම් දෙක බවයි.

අරගලයට ටික කාලයකට පෙර සූම් තාක්ෂණය ඔස්සේ අනුර දිසානායක මහතා ටොරොන්ටෝවාසී ජනතාව ඇමතීය. එහි දී සහභාගිකයෙකු ඇසූ ප්‍රශ්නයකට අනුර දිසානායක මහතා කළ පැහැදිලි කිරීමක් මට මතකය.”පවත්නා දේශපාලනය අර්බුදයෙන් අර්බුදයට යන බවක් පෙනේ. ඒ ගැඹුරු අර්බුදකාරී දේශපාලන පරිසරය තුල නායකත්ව හිස්තැනක් නිර්මාණය වනු ඇත. ඒ හිස්තැන පිරවිය හැකි වන්නේ අපට විය හැකිය.”

අනුර පරිණත දෘෂ්ටියෙන් එදා ඒ පැවසූ දේ අද සනාථ වී ඇත සමාජ දේශපාලන අර්බුදයක පුපුරා සැරව ගලද්දී ලංකා සමාජය ගලවා ගැනීමට සාමූහික නිර්මල ව්‍යායාමයක් අවශ්‍ය බව සනාථ වී තිබේ. එදා අනුරලාගේ හඬට සවන් නොදුන්, ඔහු පෙන්වා දෙන දේ දකිනවාට වඩා ඔහුගේ මුහුණේ ලපය දුටු ජනතාවට ම අද ඔහු තරුවක් වී ඇති ආකාරය අපි ටොරොන්ටෝවේ දී නොබෝදා දුටුවෙමු.

ටොරොන්ටෝවේ දී අනුර දිසානායකයෝ කතා කළේ දූෂිතයන්ට දඬුවම් දෙන ආකාරය ගැන නොවේ. මේ කුජීත වී ඇති හිංසාකාරී රාජ්‍ය වෙනුවට නව රාජ්‍යයක් නිර්මාණය කර ගන්නා ආකාරය ගැනයි. කිසිදු සැකයක් නොමැතිව අනාගත රාජ්‍යය භාර ගැනීමට සූදානම් වන නායකයෙකුගේ නව රාජ්‍ය පිළිවෙතේ මූලධර්ම ගැනයි. බාධාවකින් තොරව නිෂ්පාදන ක්‍රියාවලියට සහ ව්‍යාපාරික ක්‍රියාවලියට පහසුකම් සපයන ආකාරය ගැනයි. අතීත විභූතිය විලංගුවක් නොකර ගෙන අනාගතවාදීව රට දෙස බලන ආකාරය ගැනයි. තේ,පොල්, රබර් අපනයනයන් සහ ගෘහ සේවය යන විදේශ විනිමය ගෙන එන සම්ප්‍රදායික මාවත් අතික්‍රමණය කරන ආකාරය ගැනයි. කෘෂිකර්මය නවීකරණය කරන ආකාරය ගැනයි. විදේශ සබඳතා වාසිදායක ලෙස ගොඩනඟා ගන්නා ආකාරය ගැනයි.

පැමිණ සිටි ජනයා කම්පනයට පත්කළා…

තඹුත්තේගම මිනින්දෝරු කම්කරුවෙකුගේ පුතකු ලෙස ඉපදී, අධ්‍යාපනය හරහා තමා පැමිණි දුෂ්කර ගමන ඔහු විස්තර කළේය. තමා අයත් සංස්කෘතිය තමාට ලැබුණු දායාදයක් මෙන්ම, දෙමළාට ද මුසල්මානුවාට ද ඔවුන්ගේ සංස්කෘතීන් ඔවුන්ට ලැබුණු දායාදයෝ වෙති. ඒවා ආරක්ෂා කරමින් ඔවුන්ගේ සංස්කෘතිය තුළ ජීවත්වීමට පහසුකම් සැලසීම රාජ්‍යයේ යුතුකම හා වගකීම බව ඔහු පැවසුවේ පැමිණ සිටි ජනයා කම්පනයට පත් කරමිනි.

අනුර දිසානායකයෝ මෙහිදී එකවර විදහා පෑ, සරල බව හා පරිණත බව ලංකා දේශපාලනයේ බලය ඩැගැනීමට යත්න දරන අනෙකුත් විකාරකාරයන් හා සංසන්දනය වීම වැළැක්විය නොහැක. කිසිදු විරුද්ධවාදියෙකුට අපහාස නොකොට තමා රාජ්‍ය නායකයෙකු වීමට සුදුස්සෙකු යැයි යන හැඟවීම මේ බහුමතධාරී, බහුවාර්ගික ජනරාශියට ඇඟවීමට ඔහු සමත්විය.”

(LankaTruth.lk)