තමන් කිලිනොච්චියේ ජනතාව අතරට එන්නේ පැරණි ආකාරයෙන් ඡන්දය පාවිච්චි නොකර අලුත් විදිහට මෙවර ජනාධිපතිවරණයේ ඡන්ද පාවිච්චි කරන්න කියා ඉල්ලීමට බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව පැවසුවේ ඊයේ කිලිනොච්චියේ සමුපකාර සස්කෘතික ශාලාවේ පැවති ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ජනහමුව අමතමින්.
මේ ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක කිලිනොච්චියේ දී කළ සම්පූර්ණ කතාව යි;
“දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ ජනතාව ඡන්දය පාවිච්චි කර තිබෙනවා. හැමෝම විවිධ කාලවල විවිධ පක්ෂවලට ඡන්දය දී තිබෙනවා. සමහර අවස්ථාවල ඡන්දය වර්ජනය කරලත් තිබෙනවා. අපේ රටේ ජනතාව විවිධ ආණ්ඩු හදලා තිබෙනවා. ආපසු හැරිලා බලන කොට එම ආණ්ඩු අපේ රට විශාල විනාශයකට ඇද දමා තිබෙනවා. ජාතිවාදය ඇති කළා. ආගම්වාදය නිර්මාණය කර රට වැට්ටුවා. ආර්ථික වශයෙන් වැට්ටුවා. ජනතාව දුප්පත් කළා. රටේ යුද්ධ ඇති කළා. අධ්‍යාපනය, සෞඛ්‍යය කඩා වැට්ටුවා. ඒවා ජනතාවට අවශ්‍ය දේ නොකරපු ආණ්ඩු. නමුත් ඒ ගොල්ලෝ දියුණු වුණා. පොහොසත් වුණා. අපි ඔබ හමුවීමට ආවේ ඒ පරණ විදිහට ඡන්දය පාවිච්චි නොකර අලුත් විධියට ඡන්ද පාවිච්චි කරන්න කියලා ඉල්ලන්න.
අපි දන්නවා උතුර පළාතේ ජීවත් වෙලා ඉන්න තරුණ තරුණියන්ගේ විශාල වෙනසක් ඇති වී තිබෙනවා. අලුත් පරම්පරාව පැරණි දේශපාලනයෙන් මිදී තිබෙනවා. ඉතිහාසයේ පළමු වතාවට අපේ රටේ පහළ පංතියේ මිනිසුන්ට බලය ලබා ගැනීමේ අවස්ථාව උදාවෙලා තිබෙනවා. මේ සැප්තැම්බර් 21 පැවැත්වෙන ජනාධිපති මැතිවරණයේ දී ජාතික ජන බලවේගයට ජයග්‍රහණය කරන්න පුළුවන්. රජයේ කාර්යාලවල, හමුදා කඳවුරුවල, පොලිස් ස්ථානවල, තැපැල් ඡන්දය පාවිච්චි වූ අන්දම ඔබ දන්න අයගෙන් සොයලා බලන්න. ඒ හැමතැනම ජාතික ජන බලවේගය වෙනුවෙන් ඡන්ද පාවිච්චිය 75% – 80% පැනලා තිබෙනවා. ඒ නිසා අපිට ජයග්‍රහණය පිළිබඳ සැකයක් නැහැ. නමුත් අපිට දකුණේ ජනතාවගේ ඡන්දයෙන් විතරක් ජයග්‍රහණය කරලා ප්‍රමාණවත් නැහැ. උතුරේ ජනතාවගේ ඡන්දයත් අපිට අවශ්‍යයි.
මීට කලින් රටේ හැදුණේ උතුරේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කරපු ආණ්ඩු. 2005 ඡන්දයේ දී උතුරේ ජනතාව වැඩි ප්‍රමාණයක් ඡන්දය වර්ජනය කළා. 2010 ඡන්දයේ දී ෆොන්සේකාට ඡන්දය දුන්නා. ඔබ පැරදුණා. 2019 ගේඨාභයට විරුද්ධව ඡන්දය දුන්නා. ඒත් පැරදුණා. හැබැයි මේ සැරේ මාලිමාවට ඡන්දය දෙන්න. උතුරේ දකුණේ අපි හැමෝටම එකට එකතු වෙලා දිනන්න පුළුවන්. අපි ආණ්ඩුව හදන්නේ මැති ඇමතිවරුන්ට, ජනාධිපතිවරුන්ට මහජනයාගේ ධනය නාස්ති කරමින් සුඛෝපභෝගී ජීවිත ගෙවන්න දෙන්න නොවෙයි. අපි ආණ්ඩුව හදන්නේ උතුරු නැඟෙනහිර ඇතුළු රටේ ජීවත්වෙන සියලු ජනතාවට වඩා යහපත් ජීවිතයක් ලබා දෙන්නයි. මේ කඩා වැටී තිබෙන රට දියුණු කරන්නයි. අපි ආණ්ඩුව හදපු දවසේ සිට ජනතාවගේ ජීවිත දියුණු කරන්න, රට පොහොසත් කරන්න වැඩ කරනවා.
අපි දැනටමත අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්න සැලසුම් කර තිබෙනවා. සියලු ජනතාවගේ අයිතීන් තහවුරු කරන එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා එහි නීතිවලින් පමණක් ජනතාවගේ ප්‍රශ්න විසඳන්න බැහැ.
කිලිනොච්චියේ ගම්වල ප්‍රශ්න විසඳීමට නම් කරුණු කිහිපයක් සම්පූර්ණ කළ යුතුයි. ඔබේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දිය යුතුයි. අපි ඒ සඳහා ඉතාම ශක්තිමත් වැඩපිළිවෙළක් හදා තිබෙනවා ගම්වල ඉන්න දරුවන්ගේ අධ්‍යාපනය දියුණු කරන්න. පාසල්වල ගුරු පුරප්පාඩු පුරවන්න. ඒවායේ පහසුකම් වැඩි කරන්න. දරුවන්ට, මව්පියන්ට බරක් වූ මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කර රටේ අධ්‍යාපනය හොඳ තැනකට ගේන්න. ඉගෙන ගත් දරුවන්ට හොඳ අනාගතයක් හදන්න. කොච්චර මහන්සි වුණත් දරුවන්ට අද හොඳ අධ්‍යාපනයක් දෙන්න අපේ මව්පියන්ට නොහැකි වී තිබෙනවා. ජාතික ජන බලවේගය හදන්නේ ඔබේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදෙන ආණ්ඩුවක් බව අපි ඔබට සහතික වෙනවා.
මේ කිලිනොච්චි ප්‍රදේශයේ විශාල ජනතාවක් ජීවත් වන්නේ කෘෂිකර්මාන්තයෙන්. මේ පළාත්වල ජනතාව දුප්පත්භාවයෙන් මුදා ගන්න නම් කෘෂිකර්මාන්තය සංවර්ධනය කළ යුතුයි. අද අපේ රටේ කෘෂිකර්මාන්තය බිඳ වැටිලා. හොඳ බීජ ලබා ගැනීමට අපහසුයි. ඒ නිසා බීජ පර්යේෂණ ආයතන දියුණු කරලා ගොවි ජනතාවට හොඳ වර්ගයේ බීජ ලබා දෙන්න අපි වැඩපිළිවෙළක් හදලා තිබෙනවා. ඒ වගේම මේ පළාත්වල තිබෙන ඉඩම් මේ පළාත්වල ජනතාවට කෘෂිකර්මාන්තය සඳහා ලබා දිය යුතුයි.
එනිසා ඊට අදාළ ඉඩම් ජනතාවට නොමැති නම් අපි ඉඩම් ලබාදීමේ වැඩපිළිවෙළක් හදනවා. ඊළඟට කෘෂිකර්මාන්තය සඳහා තිබෙන ප්‍රධාන ගැටලුව තමයි ඒ සඳහා අවශ්‍ය ජලය හිඟවීම. දැන් ගොවි මහතෙකු මට ලිපියක් ලබා දුන්නා. මේ පළාතේ සුළු හා මධ්‍ය පරිමාණයේ වැව් 126ක් ඇතුළු වැව් 400කට වඩා තිබෙනවා කියලා. අපි අවුරුද්දක් ඇතුළත මේ සියලු වැව් ප්‍රතිසංස්කරණය කරමු. එතකොට බීජ තිබෙනවා; ජලය තිබෙනවා; ඉඩම් තිබෙනවා. ඔබට එවිට වගා කරන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය වන පොහොර සහ අනෙකුත් යෙදවුම්වලට සහනාධාරයක් දෙන්න අපි සැලසුම් කර තිබෙනවා. ඒ වගේම ඔබගේ නිෂ්පාදනවලට හොඳ මිලක් ලබාදෙන්න අපි කටයුතු කරනවා. එහෙම වුණාම ගොවි ජනතාවගේ ආදායම වැඩිවෙන්න පටන් ගන්නවා.
මේ පළාත්වලත් දැන් මත්ද්‍රව්‍ය, මත් කුඩු උවදුර විශාල ලෙස පැතිරෙමින් යනවා. මේ මත්ද්‍රව්‍ය ජාවාරම් පසුපස ඉන්නේ දේශපාලකයන්. කිලිනොච්චියේ හෝ ලංකාවේ කුඩු හදන්නේ නැහැ. මේ ඔක්කොම එන්නේ පිටරටින්. දේශපාලනික ඇඟිලි ගැසීම් නැතිනම්, නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් මේ උවදුර මර්දනය කළ හැකියි. අපි ඉතා කෙටි කාලයක් ඇතුළත මේ මත්ද්‍රව්‍ය උවදුරෙන් ලංකාව බේරා ගන්නවා. හැම දෙනාටම සමානව නීතිය ක්‍රියාත්මක වෙන රටක් අපි හදන්න ඕනෑ. කතාකරන භාෂාව, අදහන ආගම, තම තමන්ගේ සංස්කෘතියට අනුව නීතිය එක එක විධිහට ක්‍රියාත්මක වෙන්න බැහැ. හැමෝටම සමානව නීතිය ක්‍රියාත්මක වෙන රටක් අපි ගොඩනඟනවා. අපේ දේශපාලකයෝ නීතියට යටත් නැහැ. නීතියට වඩා උඩින් ඉන්නේ. ඒ නිසා අපි දේශපාලකයාවද නීතියට යටත් වෙන රටක් හදනවා.
මේ රට මෙච්චර දුප්පත් වෙන්න දේශපාලකයන් කරන හොරකම්, නාස්තිය හේතුවෙලා තිබෙනවා. අපි හොරකමෙන්, නාස්තියෙන් තොර රටක් හදනවා. අපේ ආණ්ඩුවක මම හෝ අපේ කිසිම මන්ත්‍රීවරයෙකු හෝ ඇමතිවරයෙකු හොරකම් නොකරන බවට ඔබට සහතික වෙනවා. ඒ විතරක් නොවෙයි, මහජනයාගේ දේපොළ හොරකම් කරපු, නාස්ති කරපු සියලු දෙනාවම අධිකරණයට ගෙන යනවා. අධිකරණය මගින් ඔවුන්ට දඬුවම් ලබා දෙනවා. ඒ විතරක් නොවෙයි, හොරකම් කරපු දේපොළත් අපි ආපසු ගන්නවා. මේ රටට මේ විනාශය ඇති වූයේ මේ හොරු නිසා. මේ අය ආණ්ඩු හදාගන්නේ මහජන ධනය සොරකම් කරන්න. නාස්ති කරන්න. එය නතර කළ යුතු නොවේද? මේ රටේ මහජන ධනය හොරකම් නොකරන ආණ්ඩුවක් අවශ්‍ය නම්, නාස්තිය නතර කරන ආණ්ඩුවක් ඕනෑ නම් ඒක තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව.
අපි දන්නවා පසුගිය යුද්ධය හේතුවෙන් ස්වාමියා අහිමි වූ, දරුවන් අහිමි වූ පවුල් විශාල ප්‍රමාණයක් අපේ රටේ ඉන්නවා. ජනතාවට ජීවත් වෙන්න හරිහමන් ආදායමක් නැහැ. ඒ නිසා ඉගෙන ගන්න අපහසු, ආහාර ගන්න බැරි, බෙහෙත් ටික ගන්න බැරි ජීවත් වෙන්න බැරි හැම පවුලකටම රුපියල් දසදහසක අවමයකට යටත්ව මාසික දීමනාවක් ලබා දෙන්න අපි සැලසුම් කොට තිබෙනවා. කෙටි කාලයක් ඇතුළත විදුලි බිල අඩු කරන්න සැලසුම්කොට තිබෙනවා. ඒක අපි කරනවා. අධ්‍යාපනය, සෞඛ්‍යය, ආහාර සඳහා තිබෙන වැට් බදු අපි මුළුමනින්ම ඉවත් කරනවා. ජනතාවට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් අපි ගොඩනඟනවා. මේ පළාත්වල බාගෙට හදපු ගෙවල් විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ ගෙවල් සම්පූර්ණ කර ගැනීම සඳහා අපි ඒ අයට ආධාර දෙන්න සූදානම් කර තිබෙනවා. එවිට ඔබට ආදායම් මාර්ගයක් තිබෙනවා. දරුවන්ට උගන්වන්න පුළුවන්, හොඳ නිරොගී සම්පන්න ජීවිතයක් හදා ගන්න පුළුවන්, හොඳ වාතාශ්‍රයක් සහිත නිවසක් හදා ගන්න පුළුවන්, ඔබට සතුටින් ඉන්න පුළුවන් ජීවිතයක් සහිත රටක් අපි ගොඩනඟනවා. අපේ රට හැම පැත්තෙන්ම හොඳ පිහිටීමක් තිබෙන, පරිසරයක් තිබෙන රටක්. මෙච්චර හොඳ රටකට මේ විනාශය ගෙනාවේ මෙතෙක් රට පාලනය කළ දේශපාලකයෝ සහ ඔවුන් හදපු ආණ්ඩු විසිනුයි. ඒ නිසා අපි රටත් ජනතාවත් ජීවත් කරවන ආණ්ඩුවක් හදාගමු.
දකුණෙන් ලැබෙන ආරංචි අනුව ජාතික ජන බලවේගය ඉහළින්ම සිටින බව ඔබට තේරෙනවා ඇති. අපි ඔබෙන් ඉල්ලා සිටින්නේ ඒ ජයග්‍රහණයේ කොටස්කරුවන් බවට කිලිනොච්චියේ ජනතාව වන ඔබත් දායක වෙන්න කියලා. ඒ සඳහා මෙහි සිටින අපේ සහෝදර සහෝදරියන් විශාල වෙහෙසක් දරා වැඩකරනවා. තව සති දෙකයි තිබෙන්නේ. මේ සති දෙක අපේ රටේ අනාගතය තීරණය කරනවා.
පැරණි අසාර්ථක පාරෙම අපේ රට ගෙනියන්න ඉඩ දෙනවාද, නැතිනම් මේක වෙනස් කරන්න තීරණයක් ගන්නවාද. අපි ඔබගෙන් ඉල්ලා සිටින්නේ පැරණි පාරෙන් මිදිලා අපේ රට අලුත් පාරකට ගෙනියන්න, රට අලුත් පරිවර්තන යුගයකට ගෙනියන්න පෙරට එමු. ඒ සඳහා මේ 21 වැනිදා ජාතික ජන බලවේගය දිනවන්න වැඩ කරමු, ඡන්ද පෙට්ටියේ ඡන්ද පිරවීම තිබෙන්නේ ඔබ අතේ. ඒ කාර්යය ඔබ බාර ගන්න. තමන්ගෙ ගමේ අනෙක් පවුල් සමග ගතා කරන්න; ඥාතීන් හමුවන්න; යාළුවන් හමුවන්න; මේ රට වෙනස් කරන්න ජාතික ජන බලවේගයට ඡන්දය දෙන්න කියලා ඒ අයට කතා කරන්න. මෙච්චර කල් අපේ රටේ තිබුණේ රැවටීමේ දේශපාලනය. අපි කරන්නේ ඒ දේශපාලනය නොවෙයි. කිසිදිනෙක අපේ පක්ෂය ජාතිවාදයට වැටෙන්නේ නැහැ. සිංහල, දෙමළ, මුස්ලිම් අපි ඔක්කෝම එකතු වෙලා සමගි සම්පන්න රටක්, හැම අතින්ම දියුණු රටක්, ලෝකය ඉදිරියේ අභිමානයෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් ගොඩනගමු”