ඉතිහාසයේ පළමු වතාවට ජනතා හදගැස්ම දැනෙන අපේක්‍ෂකයෙක් ජනාධිපති වන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න අවධාරණය කරයි.

ඔහු මෙලෙස අවධාරණය කළේ පසුගිය 20 වනදා පඬුවස්නුවරදී පැවති ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැලිය අමතමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ මස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න,

“මම මෙයට පෙර සිටි ගල්ගමුව නගරය එකම ජන ගඟක්. මහව, වාරියපොළ, බණ්ඩාරකොස්වත්ත, නිකවැරටිය, කොබෙයිගනේ ජන හමු ගණනාවක් කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ පැවැත්වෙනවා. ඒ හැම තැනකම එකම හිස් ගොඩක් තිබුණු බව වාර්තා වෙනවා. අපේ රැස්වීම්වලට අනෙකුත් ආසනවලින් ජනතාව ගේන්න බැහැ. ඒ හැම තැනකම තම තමන්ගේ රැස්වීම්වලට සහභාගී වන අතර, සමගි ජන බලවේගයේ රැස්වීම්වලට හොරොව්පතාන, කහටගස්දිගිලිය, දඹුල්ල, මාතලේ, ආණමඩුව විතරක් නොවෙයි, ගම්පහින් පවා බස් දාලා සෙනඟ ගෙන්වලා තිබුණා. කුරුණෑගල සත්‍යවාදී පිටිය පුරවා ගන්නවත් ඔවුන්ට නොහැකි වුණා. වෙනත් දිස්ත්‍රික්කවලින් පවා ගෙන්වා ගත්තාට වඩා වැඩි සෙනඟක් අද මෙතැන ඉන්නවා. මේ ඔක්කොම පඬුවස්නුවර ආසනයේ අපේ ආදරණීය ජනතාවයි. ඒ විතරක් නොවෙයි, සමුපකාර ඡන්දවලදී, අධ්‍යාපන සමුපකාර ඡන්දයේදී මාලිමාව ඉහළින්ම දිනලයි මේ අවස්ථාවට සහභාගි වන්නේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමුපකාර දහයක ඡන්දය මාලිමාව දිනද්දී, එක සමුපකාරයක ඡන්දයක් දිනා ගන්න සජබට පුළුවන් වුණාද? ලබන මාසයේ 21වැනිදා ඡන්ද ප්‍රතිඵලයත් මේකමයි. මාලිමාවට අපි ඡන්ද හදනවා වාගේම ඒ ගොල්ලොත් ඡන්ද හදනවා. ඒ ගොල්ලෝ රැස්වීම් තියන කොට, පිල් පනින කොට මාලිමාවට ඡන්ද වැඩි වෙනවා. පඬුවස්නුවර ආසනය වෙනුවෙන් සිටි රත්නසේකරත්, දයාසිරිත් දෙන්නාම එකම තැනට පැන්නා. ඒ ගොල්ලෝ පැන්නාට ඡන්දදායකයෝ පනින්නේ නැහැ.

දයාසිරිලා පනින පනින ආකාරයට පනින්න බැරි බව ප්‍රකාශ කරමින් ඔහුට ඡන්දය දුන් ඡන්දදායකයන් මාලිමාව වටා එකතු වෙමින් සිටිනවා. ඓතිහාසික පඬුවස්නුවර රාජධානියේ සියලුම දෙනා මාලිමාවේ ජයග්‍රහණය වෙනුවෙන් එකතු වී සිටිනවා. ගොවි ජනතාව, කුකුළු කර්මාන්තයේ යෙදී සිටින ජනතාව ඇතුළු මේ රටේ නිෂ්පාදන ආර්ථිකයට උර දෙන ජනතාවගේ සියලු ප්‍රශ්න විසඳමින්, ජාතික ආර්ථිකයේ කොටස්කරුවන් බවට පත් කර ගැනීමේ වැඩපිළිවෙළ අපි සකස් කර අවසන්. අපේම ආණ්ඩුවක් පත් කර ගැනීමේ පළමු පියවර ලෙස අපේම නායක, අනුර දිසානායක සහෝදරයා ජනාධිපති හැටියට පත් කර ගනිමු. රනිල් වික්‍රමසිංහ, ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ බෑනා. සජිත් ප්‍රේමදාස ආර්. ප්‍රේමදාස ජනාධිපතිගේ පුතා. නාමල් රාජපක්‍ෂ ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ පුතා. ඒ වාගේම ජනාධිපති ගෝඨාභයගේ සහෝදරයාගේ පුතා. ඒ ගොල්ලන්ට ඥාතිකම් අනුව අපේක්‍ෂකයන් තෝරාගෙන ඉන්න අතර, ඉතිහාසයේ පළමු වතාවට අපි හැමෝගේම ගම්බිම් නියෝජනය කරමින්, ජනාධිපති අපේක්‍ෂකයෙක් ඉදිරියටම ඇවිත් සිටිනවා. මගේ අම්මත් කණ අත්සන ගහන්නේ. අනුර සහෝදරයාගේ අම්මත් කණ අත්සන ගහන්නේ. සාමාන්‍ය අම්මා, තාත්තාගේ පුතෙක් හැටියට විශ්වවිද්‍යාලයට ගිය, ඇවිදින පුස්තකාලයක් වැනි දැනුමක් තිබෙන, සාමාන්‍ය ජනතාවගේ හදගැස්ම දැනෙන පුතෙක් ජනාධිපති කරවන්න මුළු රටම සූදානමින් ඉන්නවා. පඬුවස්නුවර ජනතාවගේ සියයට හැත්තෑපහකට වඩා වැඩි ඡන්දයක් අනුර සහෝදරයා වෙනුවෙන් ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.”