ආර්ථික විසඳුම ළඟා කර ගත හැකි වන්නේ නව දේශපාලන සංස්කෘතියකින් පමණකැයි ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කළේ පශු වෛද්‍ය සහ පශු සම්පත් වෘත්තිකයන්ගේ ජාතික සමුළුව අමතමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක,

“අපි මේ සාකච්ඡාව කරන්නේ දේශපාලන පරිවර්තනයක් සිදුවීමට ආසන්න වෙලාවක. මේ මාසෙ 17 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසමට බලය පැවරෙනවා. නමුත් මැතිවරණය පැවැත්වෙනවාද නැද්ද කියන දෙගිඩියාවක් සමාජය තුළ තිබෙනවා. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වැනි සංශෝධනය මගින් ජනාධිපතිවරයාට පැවරී තිබෙන කාලය අවුරුදු පහකට සීමා කර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කරන ශ්‍රේෂ්ඨාධිකරණ විනිනිසුරුවන් එම ධුර කාලය පහ බවට නිගමනය කළා. ව්‍යවස්ථාවේ තිබෙන කුඩා හිල් උපයෝගී කරගෙන බලෙන්, බලයේ රැඳීම සඳහා ප්‍රයත්නයන් දරමින් සිටිනවා. මේ ප්‍රයත්න දරමින් සිටින්නේ ජන වරමකින් බලයට ආ නායකයෙක් නොවෙයි. ජනතාව ඔහුට පාර්ලිමේන්තුව නියෝජනය කරන්නවත් බලය දුන්නේ නැහැ. පාර්ලිමේන්තුවෙන් ලබා ගන්නා බලය තුළින් ඉතා කැත පන්නයේ බල කුමන්ත්‍රණයක නියැලී සිටිනවා. ඔහු ව්‍යවස්ථාවෙන් රිංගා පාර්ලිමේන්තුව මගින් බලහත්කාරයෙන් බලයේ රැඳී සිටීම සඳහා දරන සියලු ප්‍රයත්නයන් පරාජයට පත්කරන බවට අපි ඔබ ඉදිරියේ සහතික වෙනවා.

ඔහු කිවුවා, මේ ආර්ථික අර්බුදයට විසඳුම් ලෙස තිබෙන්නේ ආර්ථික විසඳුම් මිස දේශපාලන විසඳුම් නොවෙන බව. අපි විශ්වාස කරනවා අපේ මේ අර්බුදය විසඳීම ආරම්භ කළ හැකි වන්නේ දේශපාලන විසඳුම් ලබාදීම ආරම්භ කිරීමෙන් විතරයි. ඕනෑම රාජ්‍යයක් ගොඩනැගීම සඳහා ජනතාවගේ ජන වරමක් සහිත පාලනයක් අවශ්‍යයි. ආර්ථිකය කඩා වැටී තිබෙන වෙලාවක අත්‍යවශ්‍ය සාධකයක් තමයි ඒ සඳහා ගනු ලබන විසඳුම් ක්‍රියාමාර්ග අනිවාර්යයෙන් ජනතාවගේ ජන වරමකින් ඉපදෙන්න ඕනෑ. දෙවැනි කරුණ තමයි අර්බුදයට විසඳුම් අර්බුදයේ නිර්මාපකයන්ට සොයන්න බැහැ. පොදු ජනතාව ඒ කෙරෙහි විශ්වාස තබන්නේත් නැහැ. මේ අර්බුදයේ විශාල පංගුවක් හිමිකර ගන්නේ මේ දේශපාලන සංස්කෘතිය. අපේ රටට අත්‍යවශ්‍ය ව්‍යාපෘති විශාල සංඛ්‍යාවක් පස්සට ගිහින් තිබෙනවා. අනවශ්‍ය ව්‍යාපෘති ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඔබේ දෙපාර්තමේන්තුව විසින් විද්‍යාත්මක පදනමක් මත ඉදිරිපත් කරන කරුණු ප්‍රතික්ෂේප කොට සත්තු ආනයනය කළා. අත්‍යවශ්‍ය ව්‍යාපෘතිවලට මුදල් වෙන් නොකරමින් වෙන වෙන දේවල්වලට මුදල් වෙන්කරනවා. ඒ ක්‍රියාත්මක වෙන්නේ දේශපාලන හස්තය. ආර්ථික විසඳුම සඳහා මාවත නිර්මාණය කර ගත හැකිවන්නේ නව දේශපාලන සංස්කෘතියක් තුළින් පමණයි. දේශපාලන සංස්කෘතියේ පරිවර්තනය විශාල ලෙස පැවරී තිබෙන්නේ අප වෙත.

අපේ රාජ්‍ය සේවයත්, රාජ්‍ය සේවකයන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයකුත් මේ දේශපාලන හස්තය විසින් ගිලගෙන තිබෙනවා. පශු සම්පත් පිළිබඳ මට තිබෙන්නේ ඉවක්. ඔබට තිබෙන්නේ ඥානයක්. ඕනෑම ක්ෂේත්‍රයක් සංවර්ධනය කිරීමේදී ඒ වෘත්තියේ නියැලී සිටින විශේෂඥයින්ගේ වගකීම නිශ්චිත ලෙස සඳහන් කොට වැඩ කරන්න පටන් ගන්නවා. දේශපාලකයා සහ වෘත්තියවේදියා අතර තබාගත යුතු සීමාවන් බෙදා වෙන්කර නොමැතිකම නිසා ව්‍යසනයට විශාල හේතුවක් වී තිබෙනවා. වෘත්තියවේදියා ටෙන්ඩර් බෝඩ් එකකදී මිලදී ගැනීම් තීරණය කරන්න ඕනෑකම තිබෙන්නේ මිලදී ගැනීමේ විධිමත් පටිපාටිය අනුගමනය කිරීමෙන්. දේශපාලකයා වෘත්තියවේදියාගේ කාර්යභාරය පසෙකලා තමන් විසින් තෝරා ගන්න කෙනෙකුට පැවරීම සඳහා ප්‍රයත්න දරනවා. කාබනික පොහොර චීනයෙන් ආනයනය කරන අවස්ථාවේ විශාල රංඩුවක් ගියා. ඒ ක්ෂේත්‍රයේ සිටි කෘෂි හා පාංශු විද්‍යාඥයන් කියන්නේ මේ පොහොර ලංකාවට ආනයනය කිරීමෙන් අපේ රටේ ව්‍යාප්ත නොවුණු ක්ෂුද්‍රජීවීන් ඇතුළුවීමෙන් අපේ රටට අනතුරක් තිබෙනවා කියලා. දේශපාලකයා කියනවා පර්යේෂණ කරන නිලධාරීන් විසින් ඉන්ජෙක්ෂන් එකකින් මේවට ක්ෂුද්‍රජීවීන් ඇතුල් කරලා කියලා. තමන්ගේ කාර්ය නිසි පරිදි ඉටුකළ වෘත්තියවේදීන්ට සමාජය ඉදිරිපිට තර්ජනයක් හා අපහාසයට පත්කිරීමක් කළා. ඒ වෘත්තියවේදීන් තමන් ගන්නා ලද ස්ථාවරය වෙනස් නොකොට අපේ රටේ පරිසර පද්ධතිය ආරක්ෂාකර ගැනීම වෙනුවෙන් ප්‍රයත්න දැරීම ගැන අපි ස්තුතිවන්ත වෙන්න ඕනෑ. ජාතික ජන බලවේගය ආණ්ඩුව යටතේ මේ අදාළ විෂය නිසි පරිදි වෙන්කිරීමකට භාජනය කරනවා. පශු සම්පත් පිළිබඳව සංවර්ධනය පිළිබඳව සැලසුම් හදන්න, ක්‍රියාත්මක කරන්න, මාර්ගෝපදේශ දෙන්න ඕනෑ අමාත්‍යවරයා නොවෙයි. එය කළ යුතු වන්නේ ඒ පිළිබඳ විධිමත් අධ්‍යාපනයක් තිබෙන, අත්දැකීම් තිබෙන ඔබ විසිනුයි.

රටේ ජනතාවගේ පෝෂණයට අවශ්‍ය කිරි, මස්, බිත්තර මත්ස්‍ය සහ කෘෂි නිෂ්පාදන සම්පූර්ණ කර ගන්නේ පශු සම්පත් ක්ෂේත්‍රයෙන්. අපි ඉන්නේ පෝෂණ අවශ්‍යතාවයේ විශාල අර්බුදයකයි. අවුරුදු පහට වඩා අඩු දරුවන්ගෙන් 19%ක් මන්දපෝෂණයට ගොදුරු වෙලා තිබෙනවා. ගැබිණි මව්වරුන්ගෙන් 22%කට ආසන්න ප්‍රමාණයක් රක්ත හීනතාවයෙන් පෙළෙනවා. අඩු බර දරු උපත් සංඛ්‍යාව වේගයෙන් වර්ධනය වෙමින් තිබෙනවා. පුරවැසියෙකුගේ දෛනික කිරි අවශ්‍යතාවය මිලි ලීටර් 200යි. අවුරුද්දකට කිරි මිලි ලීටර් මිලියන 1600ක් අවශ්‍යයි. 2022 ඉදිරිපත් කළ වාර්තාව අනුව මිලියන 380ක් තිබ්බාට 2023 ලීටර් මිලියන 345යි. සමහරු ගණනය කිරීම් කරන්නේ කිරි පරිභෝජනය කරන ප්‍රමාණය අනුව. ඒ අනුව කියනවා අපි 40%ක් නිෂ්පාදනය කර තිබෙනවා කියා. එය නිවැරදි ගණනය කිරීමක් නෙමෙයි. තව ඉදිරියේදි කිරි පරිභෝජනය කරන ප්‍රමාණය තවත් අඩු වේවි. ඒකෙන් කියන්න බැහැ කිරි නිෂ්පාදනය වැඩිවී තිබෙනවා කියලා. අපි බැලිය යුත්තේ පරිභෝජනය කරන ප්‍රමාණය ප්‍රමාණවත්ද කියන එකයි. ඒ අනුව අපට කියන්න බැහැ කිරිවලින් ස්වයංපෝෂිතයි කියලා. ජනතාවගේ පෝෂණ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා පශු සම්පත් ක්ෂේත්‍රය අපට ඉතා වැදගත්.

අපේ රටේ කිරි නිෂ්පාදනයෙන් 90%කට ආසන්න ප්‍රමාණයක් දෙන්නේ සුළු නිෂ්පාදකයන් විසින්. ඒ නිෂ්පාදකයන්ගෙන් 80%ක් පමණ සිටින්නේ දුප්පත්භාවයේ රේඛාවට යටින්. ඒක ඒ අයගේ ආර්ථික තත්වය ශක්තිමත් කිරීම සඳහා ප්‍රමාණවත් වෙලා නැහැ. අපේ රට මුහුණ දී තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් දුප්පත්භාවය. පාරම්පරික දුප්පත්භාවය, යම් ආපදාවයන් නිසා ඇති වන දුප්පත්භාවය, අනපේක්ෂිත තත්වයන් නිසා ඇති වන දුප්පත්භාවය, ඈත ග්‍රාමීය ජනපදවල ඉපදීම හේතුකොටගෙන ආර්ථික අවස්ථා නොමැතිවීමෙන් ඇතිවී තිබෙන දුප්පත්භාවය. අපි මුහණ දෙන ප්‍රශ්නයක් තමයි. මේ දුප්පත්භාවය සමාජයෙන් තුරන් කරන්නේ කොහොමද කියන එක. දුප්පත්භාවයට පත්වුණු ජනතාව ආර්ථික ක්‍රියාකාරිත්වයකට කැඳවන්න නම්, ඒ අයට තමන් නියැලෙන ආර්ථික ප්‍රභවය තමන්ට ශක්තිමත් ආදායමක් ලබාදෙන ප්‍රභවයක් බවට වර්ධනය කරන්න ඕනෑ. දුප්පත්භාවය තුරන් කිරීම සඳහා ආර්ථික අවස්ථා නැති කණ්ඩායම්වලට නව ආර්ථික අවස්ථා සත්ව පාලනය පශු සම්පත් ක්ෂේත්‍රය මගින් ඇති කළ හැකියි. ඒ සඳහා ඒ තුළ විභවතාවයක් තිබෙනවා. ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීම සඳහා පශු සම්පත් ක්ෂේත්‍රයට විශාල වගකීමක් පැවරෙනවා. එක් අවස්ථාවක රජය මගින් ආනයනය කළ එක් එළදෙනකගේ වටිනාකම ලක්ෂ හතරහමාරක් වුණා. රජය ලක්ෂ දෙකහමාරක සහනාධාරයක් ගොවියෙකුට දෙන්න තීරණය කළා. වැඩිම සහනාධාරය ගත්තේ ඇමතිවරු දෙදෙනෙක්. දුප්පත්කම නැති කර ගත්තෙ ඒ ඇමතිවරුන්. දුප්පත්භාවය තුරන් කිරීම සඳහා ඒ ඒ ආර්ථික ප්‍රභවය ඉලක්ක සහගතව ජනතාව වෙත කැටුව යන්න ඕනෑ.

තමන්ට අවශ්‍ය වෙන ආහාර ඒ ඒ රටවල් නිෂ්පාදනය කර ගැනීමේ වැදගත්කම අපට පශ්චාද් කොවිඩ් තත්වය විසින් ඔප්පු කර තිබෙනවා. ජාතික ආර්ථික සැලැස්මකදී තමන්ට අත්‍යවශ්‍ය ආහාර තමන් නිෂ්පාදනය කර ගත යුතුයි කියන සංකල්පය ලෝකයේම සාකච්ඡාවට බඳුන්වී තිබෙනවා. ඒ නිසා නව ආර්ථික සැලැස්මකට අප යා යුතුයි. අපේ ආර්ථික අර්බුදයේ මූලයන් දෙකක් තිබෙනවා. එකක් භාණ්ඩාගාරය වසරකට අවශ්‍ය රුපියල් ප්‍රමාණය උපයන්නේ නැතිකම. අපේ ආදායම වසරකට රුපියල් බිලියන 4168යි. ණය ගෙවීම, ණය වාරික ගෙවීම, රජයේ වියදම් සියල්ලම එකතුව රජයේ වියදම රුපියල් බිලියන 11,277යි. අපි භාණ්ඩාගාරයට අවශ්‍ය රුපියල් ප්‍රමාණය වගේම රටට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය උපයන්නේත් නැහැ. මෙතෙක් අනුගමනය කළ ආර්ථිකයේ ප්‍රතිඵලය තමයි මේ. ආණ්ඩුව ධනය උපයන්නේ නැහැ. එළියේ නිෂ්පාදනය වෙන ධනයෙන් පංගුවක් ආණ්ඩුව අරගෙන වියදම් කරනවා. සමාගම්වලින් එහි ලාභයෙන් ටැක්ස් ගසා පංගුවක් ගන්නවා. අර්බුදයට උත්තරයක් සොයා ගත හැක්කේ එළියේ ආර්ථිකය වර්ධනය කර, ප්‍රසාරණය කිරීමෙන් පමණයි. අපේ සැලැස්ම විය යුත්තේ එළියේ ආර්ථිකය වර්ධනය කර ගැනීම. එළියේ ආර්ථිකය වර්ධනය කර ගත යුත්තේ කෙසේද? එළියේ ආර්ථිකයේ විභවතාවය තිබෙන තැනක් තමයි පශු සම්පත් ක්ෂේත්‍රය. ඒ ආශ්‍රිතව කර්මාන්ත ගණනාවක් ආරම්භ කළ හැකියි. ඒ කර්මාන්තවලින් ජාතික ධනය උත්පාදනය කළ විට ඒකෙන් පංගුවක් ආණ්ඩුවට ගන්න හැකිවෙනවා. කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන ආනයන කිරීම සඳහා 2022 වසරේ වැය කොට තිබෙනවා රුපියල් බිලියන 68ක්. (කෝටි 6800ක්) මේ නිෂ්පාදනය අපි උඩට ගෙනාවොත් ඩොලර් මිලියන 200කට ආසන්න ප්‍රමාණයක් ඉතිරි කර ගත හැකියි.

15 වැනි සියවසේ සිට 19 වැනි සියවස දක්වා කලාකරුවන්, විද්‍යාඥයන්, දේශපාලන චින්තකයන්, චිනතකයන් විසින් අනාගත ලෝකයක් පිළිබඳ පරිකල්පනය කළා. ඒ පරිකල්පනය කළ අනාගතය භෞතිකව ගොඩනැගුණේ විසිවන සියවසේදීයි. තාක්ෂණයේ, විද්‍යාවේ දියුණුව විසින් මිනිස්සුන්ට කන්න දෙන්න පුළුවන් කියන විශ්වාසය ඇති කළා. ඒ වගේම විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයන්හි විශාල පරිවර්තනයන් සිදුවුණා. ඒ පරිවර්තනයට අනුරූප වන පරිදි ලෝකයේ බොහෝ රටවල් තමන්ගේ ආර්ථිකයන් සකස් කර ගත්තා. අපේ ආර්ථිකයන් ඒ අනුව සකස් කර ගන්නවා වෙනුවට අපි ඒවායේ පරිභෝගිකයන් බවට පත් වුණා. විශාල ඖෂධ දියුණුවක් සිදුවුණා. සෞඛ්‍ය පිළිබඳව සොයා බැලීම සඳහා නවීන උපකරණ බිහිවුණා. නමුත් අපි කළේ ඒවා ගෙනත් අපි පරිභෝජනය කිරීමයි. විද්‍යාවේ, තාක්ෂණයේ ඇති වුණු දියුණුව අපේ ආර්ථික සංවර්ධන උපායමාර්ගයක් කර ගන්න අපි අසමත් වුණා.

නිෂ්පාදන පිරිවැය අඩුකර ගැනීමටත්, ගුණාත්මකභාවය වැඩිකර ගැනීමටත්, නිෂ්පාදනයේ අඛණ්ඩතාවය ආරක්ෂා කර ගැනීමටත් තාක්ෂණයේ විද්‍යාවේ සිදුවූ පරිවර්තනය අපි බද්ධ කර ගත යුතුයි. පෝෂණ අවශ්‍යතාවය සපුරාලීම, දුප්පත්භාවය තුරන් කිරීම, ජාතික ආර්ථිකය මුහුණ දී තිබෙන ගැටලු විසඳීම සඳහා පශු සම්පත් ක්ෂේත්‍රය ඉතා වැදගත් කොට සලකනවා. සුරතල් සතුන්ගේ ආරක්ෂණය මගින් රැකියා අවස්ථා උත්පාදනය සඳහාත් පශු සම්පත් ක්ෂේත්‍රය වැදගත් වෙනවා. රැකියා අවස්ථා උත්පාදනය වන්නේ එළියේ ආර්ථිකයක් ගොඩනැගීමෙනුයි. ඒ වගේම වර්තමාන තරුණ පරම්පරාවේ මනෝභාවය රැඳී තිබෙන්නේ නිදහස් රැකියා වෙතයි. අලුත් තරුණයාගේ මනෝභාවයට ගැලපෙන රැකියා අවස්ථා නිර්මාණය කරන්න අපි අසමත් වී තිබෙනවා. අපේ ජාතික ආර්ථික සැලැස්මේ වැදගත් ක්ෂේත්‍රයක් හැටියට පශු සම්පත් ක්ෂේත්‍රය සැලකෙනවා. පශු සම්පත් ක්ෂේත්‍රය සංවර්ධනය කරන්නේ කොහොමද? ඔබ එහි තාක්ෂණ ශිල්පීන්, විද්‍යාඥයන්, පර්යේෂකයන් හැටියට හඳුනාගෙන තිබෙන නිවැරදි දේ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වෙන, දේශපාලන නායකත්වය සැපයීම තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ අපේ වගකීම. මෙම ක්ෂේත්‍රය වර්ධනය කිරීම සඳහා දැනටමත් දළ සැකැස්මක් සකස් කොට තිබෙනවා.

මෙතනදී ඉතාම වැදගත් වන්නේ මානව සම්පත. අපේ ශ්‍රම බලකායෙන් වෘත්තීමය ක්ෂේත්‍රයේ සිටින්නේ 15%යි. වෘත්තීමය ශ්‍රමය විසින් තමයි අනෙක් ශ්‍රමයන් ඵලදායී වෙන්නේ. වෘත්තිමය ශ්‍රමයන් නිර්මාණය කර ගන්න විශාල කාලයක්, විශාල වැය බරක් අපි දරනවා. පුහුණු කරන ලද මේ වෘත්තිමය ශ්‍රමය ආරක්ෂා කර ගැනීම දේශපාලකයාගේ සහ ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ වගකීමක්. වෘත්තියවේදීන්ගේ අයිතිවාසිකම්, අපි සුරක්ෂිත කළ යුතුයි. ක්ෂේත්‍රයේ විශාල අත්දැකීම් තිබෙන පර්යේෂකයන් වන ඔබ අපට සැලැස්මක් සකසා දෙන්න. අපි අවශ්‍ය නායකත්වය සපයන්නම්. එක තැනකදි අපි ගැටගැහෙමු. මේ රට ගැනීමට හැමදෙනාටම ඇත්ත වුවමනාවක් තිබිය යුතුයි. මේ ඇතිවී තිබෙන ව්‍යසනයෙන් මේ මාතෘ භූමියත් අපේ රටේ ජනතාවත් ගලවා ගත යුතුයි කියන එක හුයෙන් අපි ගැටගැහෙමු. අපි සියලු දෙනා එක සම්මුතියක සිට මේ රට අලුත් දිසාවකට පරිවර්තනය කරමු. ඒ සඳහා සියලු දෙනාට එකතු වෙන්න කියා ආරාධනා කරනවා.”