පාස්කු දා එල්ල කරන ලද ම්ලේච්ඡ ප්‍රහාරයට වසර 5ක් සම්පූරණ වෙන මොහොතේ එවකට ආණ්ඩුවේ සිටි වගකිව යුතු අගමැති ඇතුළු කැබිනට් ඇමතිවරු එය වළක්වා නොගැනීමට ක්‍රියා කළ අතර මේ වනවිට නිල විපක්ෂය වින්දිතයන්ට යුක්තිය ඉටු කරන බව ප්‍රකාශ කිරීම ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීම හා සමාන වන බව ජාතික ජන බලවේගය අවධාරණය කරයි.

අද (17) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, මහාචාර්ය විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත අබේසේන මේ බව පැවසූ අතර වැඩි දුරටත් සඳහන් කළ කරුණු පහත දැක්වේ.

පාස්කු ප්‍රහාරයෙන් මියගිය 273දෙනා අතරින් 45ක් පමණ විදේශිකයන් වන අතර, ළමුන් හතළිහක් පමණ ඒ අතර සිටිනවා. ආබාධිත තත්වයට පත්වී සිටින 500ක් පමණ පිරිස වගේම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් මානසික වශයෙන් දැඩි බියකින් පසුවෙනවා. අදටත් පල්ලියක් ඉදිරියෙන් ගමන් කරන්න විශාල බියක් දක්වන මානසික තත්වයකින් පසුවෙනවා. ඊට අමතරව අපේ රට සම්බන්ධයෙන් විදේශිකයන්ගේ බියක් ඇති කර රට තුළ ජාතීන් අතර වෛරය පැතිරුවා. මේ නිසා අපේ සමාජයට පාස්කු ප්‍රහාරය දරුණු ලෙස බලපෑවා. අනෙක් අතට මෙම ප්‍රහාරය එල්ල කෙරෙන බව දැන දැනත් එය වැළැක්වීම සඳහා කිසිදු සාධනීය පියවරක් ගත්තේ නැහැ. මේ ප්‍රහාරය අන්තවාදී කණ්ඩායමක වුවමනාව පමණක් නොවෙයි, බලය ලබාගැනීම සඳහා යොදා ගත් බවටත් සාක්ෂි තිබෙනවා. මේ සම්බන්ධයෙන් පරීක්ෂා කර බලන්න 2019 දී පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළා. ඒ නිර්දේශවලට කුමක් සිදුවූයේදැයි දන්නේ නැහැ. ඒ වගේම රුපියල් කෝටි ගණනක් වියදම් කර, පුද්ගලයින් 450කට අධික සංඛ්‍යාවක් සාක්ෂි විමසූ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව කුමක්දැයි ජනතාව දන්නේ නැහැ. ඉතා අමාරුවෙන් කාදිනල් හිමිපානන්ට වාර්තාවක් ලබාදුන්නත් එහි පිටු 1500ක් පමණ අඩුයි. මේ විදිහට තොරතුරු හංගන්නේ ඇයි?

ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ නිලධාරීන් වැරදිකරුවන් ලෙස නම් කළත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති මුක්තිය යටතේ චූදිතයෙක් කළ නොහැකි වුණා. නමුත් වැරදිකරුවෙක් කළ මෛත්‍රීපාල සිරිසේන අදාළ වන්දි මුදල මේ දක්වා නොගෙවා විවිධ ප්‍රකාශ කරමින් සිටිනවා. කිතුනු සභාවත් ජාතික ජන බලවේගයත් මුල සිටම යුක්තිය වෙනුවෙන් අඛණ්ඩව කටයුතු කරනවා. සෑම මසකම 21වැනි දින පල්ලිය හන්දියේදී ජාතික ජන බලවේගයේ විරෝධතාවක් දැක්වූවා. වසර පහක් පුරා මේ ක්‍රියාමාර්ග තුළින් යුක්තිය ඉටුකර ගත නොහැකි වුණා. අද විපක්ෂයේ සිටිමින් කෑ ගහන සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිස එදා යහපාලන ආණ්ඩුවේ කොටස්කරුවන්. රනිල් වික්‍රමසිංහ වගේම මේ සියලු දෙනාත් වගකියන්න ඕනෑ. මූලික අයිතිවාසිකම් නඩුවේදී අද විපක්ෂයේ ඉන්න සජිත් ප්‍රේමදාස ඇතුළු එදා කැබිනට් මණ්ඩලයේ සිටි අයත් චූදිතයෝ බව මතක තියාගන්න ඕනෑ. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට දඬුවම් දෙන්න ඕනෑ කියල කෑ ගහන බොහෝ දෙනෙක් සිංහල අන්තවාදය පෝෂණය කළ අය බව මතක් කර දෙන්න ඕනෑ. පවතින ආණ්ඩු පක්ෂයෙන් හෝ නිල විපක්ෂයෙන් පාස්කු වින්දිතයින්ට යුක්තිය ඉටුවෙවි යැයි කවුරුන් හෝ බලාපොරොත්තු වෙනවා නම්, එය ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලනවා වගේ වැඩක්.

බලය සඳහා කෑදරකමින් ක්‍රියාකරන කුහක දේශපාලනයක් අපේ රටේ තිබෙනවා. ඒ අතර කවුරුන් හෝ ආණ්ඩුවෙන් හෝ විපක්ෂයෙන් අවංකව යුක්තිය බලාපොරොත්තු වෙනවා නම්, එය දේශපාලන සාක්ෂරතාවය පිළිබඳ ප්‍රශ්නයක්. ජාතික ජන බලවේගයේ පැහැදිලි ප්‍රතිපත්තිය සෑම ආගමකටම, සංස්කෘතියකටම ගරු කිරීමයි. අපේ පාලනයක් යටතේ මෙවැනි තත්වයක් ඇති නොවෙන ලෙස ජාතික සහ ආගමික සමගිය ප්‍රවර්ධනය කිරීම සඳහා කටයුතු කරනවා. අද ලබාදෙන ප්‍රතිඥාව අනුව අපේ පාලනයක් යටතේ කටයුතු කරන බවත් ඒ වෙනුවෙන් ශක්තියක් වෙන්න සියලුම දෙනා ඒකරාශී වෙන ලෙසත් ඉල්ලා සිටිනවා.