76 වසරක් අවසානයේත් මේ දක්වා ඉතා හොඳින් නීතිය ක්‍රියාත්මක වෙන, විනයක් පවතින, ඕනෑම රැකියාවක් කරන කෙනෙකුට ගුණාත්මක ආහාර වේලාවක් ලබා ගැනීමේ හැකියාව ලැබෙන ආදී මූලික යටිතල පහසුකම් සම්පූර්ණ වූ රටක් නිර්මාණය කර නැති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. අද තිබෙන්නේ අපි අපේක්ෂා කරන මූලික කරුණුවලින් බොහෝ දුප්පත් රටක් බවයි ඔහු කියන්නේ.
“ආර්ථිකයෙන් පමණක් නොව ආකල්පවලින්, නීතිය ක්‍රියාත්මක කිරීමෙන්, පරිසරය පිරිසිදුව තබා ගැනීමෙන් අපි දුප්පත් වී සිටින අතර, අපරාධවලින් පොහොසත්, මත්ද්‍රව්‍යවලින් පොහොසත්, වංචාව, දූෂණයෙන්, නාස්තියෙන් පොහොසත් රටක් නිර්මාණය වී තිබෙනවා. ලෝකයට ණය ගෙවා ගන්න බැරි තරම රට සහ පුරවැසියන් දුප්පත් වුණු ඉතාමත් අයහපත් කටුක ජීවිත උරුම වූ ජනතාවක් සිටින රාජ්‍යයක් බවට ලංකාව පත්වුණේ ඇයි?
එස්.බී. දිසානායක මහනුවරදී කියා තිබුණේ හැටේ දශකයේ කොරියාව, සිංගප්පූරුව, වියට්නාමය අපට වඩා යටින් තිබුණත් අද වෙනකොට ඒ රාජ්‍යයන් අපට වඩා විශාල වශයෙන් ඉහළින් සිටින බවයි. මේ කාලය තුළදී රට පාලනය කළේ කවුද.
1970 දී පාර්ලිමේන්තුවට ආ මහින්ද රාජපක්ෂ දැන් අවුරුදු 54ක් කල්ගත කර තිබෙනවා. එයා මන්ත්‍රී ධුරය, අමාත්‍ය ධුරය, විපක්ෂ නායක ධුරය, අගමැති ධුරය සහ අවුරුදු 10ක් ජනාධිපති ධුරය දරලා නැවත මන්ත්‍රී ධුරයක් ලබාගෙන ඉන්නවා. රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට ආව 1977 ඉඳලා දැන් අවුරුදු 47ක් ඉන්නවා. දිනේෂ් ගුණවර්ධන, පාර්ලිමේන්තුවට ආවේ 1983 දී. දැන් අවුරුදු 41ක් වෙනවා. මම මේ කීවේ ප්‍රධාන තුන්දෙනාගේ විස්තරය. ඔවුන් පාලනය කළ දශක පහකට ආසන්න කාලය තුළ වියට්නාමය, දකුණු කොරියාව, සිංගප්පූරුව අපට වඩා උඩට ඇවිත් අපි තිබුණු තැනිනුත් බංකොලොත්භාවයට පත්වී සිටිනවා.
1950 දී ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 316යි. දකුණු කොරියාවේ අපනයන ආදායම ඩොලර් මිලියන 25යි. අද අපේ අපනයන ආදායම ඩොලර් බිලියන 12යි. දකුණු කොරියාවේ ඩොලර් බිලියන 688යි. වියට්නාමය 1980 දී අපනයන ආදායම ඩොලර් මිලියන 400යි. එදා ලංකාවේ අපනයන ආදායම ඩොලර් මිලියන 1500යි. රනිල් වික්‍රමසිංහලා ආණ්ඩුව පිහිටුවා ආසන්න කාලයේ දී ඒ තත්වයේ තිබුණු ලංකාව දැන් අපනයන ආදායම ඩොලර් බිලියන 12ක් වන විට වියට්නාමයේ ඩොලර් බිලියන 452යි. ලෝකයේ ඇති වූ නව වෙනස්කම්වලට අනුරූපී වන පරිදි අපේ රටේ ආර්ථිකය වෙනස් කර ගනිමින් ඉදිරියට ගියේ නැහැ. ආර්ථික වශයෙන් කඩා වැටුණු රටක විනයක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම අපරාධවලින් තොර රටක් නිර්මාණය වෙන්නේත් නැහැ. යහපත් සමාජයක් නිර්මාණය වෙන්නේත් නැහැ. අනෙකාට ගරු කරන සමාජයක් නිර්මාණය වෙන්නේත් නැහැ. යහපත් පරිසර පද්ධතියක් පවතින්නේත් නැහැ. ඔබ ජපානයේ බොහෝ ගුණාංග ගැන කතා කරන අතර, ලංකාව ව්‍යසනයකට පත්වී තිබෙන්නේ මේ දේශපාලනය නිසයි. පරණ පන්නයේ දේශපාලන සංස්කෘතිය නිසා පොදු ජනතාව රෑ වැටුණු වලේ දවල් වැටී නැවත දවල් වැටුණු වලේ රෑත් වැටෙන මට්ටමකට අවුරුදු 76ක් පුරා ගමන්කර තිබෙනවා. ජපානයේ Tsukuba, Yatabe Citizen Hall එකේ මේ මොතොතේ අපි ඔබව හමුවෙන්න ආවේ, අවුරුදු 76ක මේ ගමන් මාර්ගය අපි සියලු දෙනාම එක්වී වෙනස් කරමු කියන පණිවිඩය දෙන්නයි.
දැන් ඒ විනාශකාරී ගමන වෙනස් කරන්න ඉතාමත් හොඳ අවස්ථාවක් උදාවී තිබෙනවා. මෙයට පෙර ජාතික ජන බලවේගයේ අපි බලය ඉල්ලුවත් සමාජය බලය ලබාදීමට සූදානමක් තිබුණේ නැහැ. ඒ නිසා අපි පාර්ලිමේන්තුවේ රිමෝට් එක දෙන්න, තව විටෙක පාර්ලමේන්තුවේ යතුර දෙන්න ආදී වශයෙන් ඉල්ලීම් කරමින් මේ දුර පැමිණියා. පසුගිය දශක කිහිපය තුළ ජනතාවගේ සිතුවිල්ල වෙලා තිබුණේ හොරු ගොඩක් පාර්ලිමේන්තුවට යවා ඒ හොරු අල්ලන්න JVP එකෙන් තුන් හතර දෙනෙක් යැවීමටයි. ආණ්ඩුව නරක වැඩ කරන කොට හෙළිදරව් කරන්න ඒ ගොල්ලොත් හිටියොත් හොඳයි, කියන සංකල්පයක් තිබුණේ. නමුත් අද ජනතාවගේ මනස තුළ ජාතික ජන බලවේගය ස්ථාපිත වී තිබෙන්නේ ආණ්ඩුවක් පිහිටවන්න ඕනෑ බවයි. අපේ වුවමනාව තිබුණු පමණින්ම බලය ගන්න බැහැ. ඒ හා සමානම වුවමනාවක් ජනතාවගේ පැත්තෙනුත් ඇති විය යුතු වෙනවා. අපි එතෙක් කළේ අල්ලා ගෙන සිටීමයි. 3%ට වැටුණත් අපි අල්ලාගෙන සිටි වෙලාවේ සමහර අය අපට කීවේ ජනතාවට ඕනෑ නැත්නම් ඔය ගොල්ලොත් අතහැර දාලා ගෙදර යන්න කියලයි. ඒත් අපි අල්ලාගෙන සිටියා. අද උතුර දකුණ බේදයකින් තොරව, සිංහල, දෙමළ, මුස්ලිම් බේදයකින් තොරව, දේශීය විදේශීය ලෙස ජීවත් වෙන ශ්‍රී ලාංකික බේදයකින් තොරවම ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ගොඩනැඟිය යුතුයි කියන ස්ථාවරයට පැමිණ සිටිනවා. එය ජයග්‍රහණය කරා මෙහෙයවීමයි, අපට ඔබට පැවරී තිබෙන කාර්යභාරය. නමුත් මේ ඡන්දය ලංකා ඉතිහාසයේ ඉතාමත් කැතම සිදුවීම් සිදුවෙන ඡන්දය විය හැකියි. මෙය හුදු සරල ඡන්දයක් නොවෙයි.
ජනාධිපතිවරණය 1982 සිට පවත්වා තිබෙනවා. නමුත් ඒ කිසි අවස්ථාවක ඡන්දය පවත්වයිද නැද්ද කියලා සැකයක් තිබුණේ නැහැ. නමුත් තවමත් 19 ව්‍යවස්ථා සංශෝධනය මුල්කරගෙන දෙගිඩියාවක් ඇති කරමින් තිබෙනවා. මේ ඡන්දය එතරම්ම සුවිශේෂී නිසයි දෙගිඩියාවක් පවත්වාගෙන යන්නේ. මේ ඡන්දයට රාජ්‍ය බලය විශාල වශයෙන් මෙහෙයවීමට රනිල් වික්‍රමසිංහ අමතරව රුපියල් කෝටි 875ක් වෙන්කර ගත්තා. උරුමය ව්‍යාපෘතිය මුළුමනින්ම ඔහුගේ ඡන්ද ව්‍යාපාරයක්. රාජ්‍ය සේවක වැටුපත් රුපියල් 5000කින් වැඩිකරන්න යනවා. විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ධනය රට පුරා නාස්ති කරමින් මනුෂ නානායක්කාරලා ක්‍රියාකරනවා. තරුණ සේවා සභාවට අමතර මිලියන 400ක් ළඟදි ඡන්ද වැඩ සඳහා වෙන් කළා. ලංකා ඉතිහාසයේ කවදාවත් නැතිව ආණ්ඩුකාරවරුන් සම්බන්ධීකරණ නිලධාරීන් පත්කරනවා. ලක්ෂමන් යාපාගේ සියලු පත්කිරීම් අවලංගු කිරීමට ක්‍රියාකළ මැතිවරණ කොමිසමට අපි ස්තුතිවන්ත වෙනවා.
දැන් පුළුල් මාධ්‍ය මෙහෙයුමක් යනවා අපට එරෙහිව. සමහර මාධ්‍ය අපිව ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරන්න පටන්ගෙන තිබෙනවා. සියල්ලට උඩින් ඉන්න බව කීවාට බොහෝ අයට යටින් ඉඳන් ක්‍රියාකරන බව පේනවා. මේ පරිවර්තනය වැළැක්වීම සඳහා ඔවුන්ගේ පැත්තෙන් ගත හැකි හැම ක්‍රියාමාර්ගයක්ම ගැනීමට නියමිතව තිබෙනවා. ජාතික ජන බලවේගය සතු එකම ශක්තිය සහ අපේක්ෂාව මහජනතාව අපට ලබාදෙන ධෛර්යය සහ විශ්වාසයයි. ඒ මත ජයග්‍රහණය කරා අපට මෙහෙය විය හැකියි. සහතික වශයෙන්ම අපට දිනන්න පුළුවන්” බව ජපානයේ Tsukuba, Yatabe Citizen Hall හි දී එරට සිටින ශ්‍රී ලාංකිකයින් අමතමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.