සමහර මාධ්‍යවල විරුද්ධවාදී හැසිරීම, දේශපාලන අධිකාරීන්ගේ කෝපාවිෂ්ට ගර්ජනයන් තවදුරටත් ඉදිරියේ දී වැඩිකරනු ඇතැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. පොදු ජනයාගේ ඛේදවාචකය පිළිබඳ වේදනාව තමන්ට ඉතා හොඳින් දැනෙන බවයි ඔහු කියන්නේ.
“මෑතකදී බුද්ධි අංශ ඉදිරිපත් කළ වාර්තාවක ප්‍රධාන කරුණු දෙකක් ඉදිරිපත් කර තිබුණා. එකක් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මහත් උනන්දුවෙන් ජාතික ජන බලවේගය වටා එක්වීම. දෙවැන්න විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ජාතික ජන බලවේගයට අනුබද්ධව ප්‍රබල ලෙස සංවිධාන ගතවීම. ඒ නිසා ජාතික ජන බලවේගය ජයග්‍රාහී ලෙස ඉදිරියට යමින් සිටින බව දක්වා ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස දන්වා තිබුණා. මේ නැගීගෙන එන බලවේගය සැප්තැම්බර් 21දා නියත ජයග්‍රහණය කරා ඉදිරියට යාම වැළැක්වීමට කිසිදු ජගතෙකුටවත් බැහැ.
පොදු ජනයාගේ ඛේදවාචකය පිළිබඳ වේදනාව අපට ඉතා හොඳින් දැනෙනවා. කෙනෙකුගේ හදවතේ තෙතමනයක් තිබෙනවා නම්, අපේ මාතෘභූමියට අත්කර දී තිබෙන ඛේදවාචකය ගැන කම්පනයක් තිබෙනවා. අවුරුදු 75ක ඉතිහාසය පැත්තකින් තබා මේ සති දෙකක කාලය තුළ සිදුවීම් ගත්තත් ඛේදවාචකයේ තරම තේරුම් ගන්න පුළුවන්. මේ තරම් අප්‍රසන්න දේශපාලන සිදුවීම් තවත් දකින්න පුළුවන්ද.
ප්‍රසන්න රණතුංග කප්පම් ගැනීම, මහින්දානන්ද මූල්‍ය අපරාධ සිදුකිරීම පිළිබඳ චෝදනා ගොනු කරන විට රනිල් වික්‍රමසිංහ අගමැති. රත්වත්තේලා බන්ධනාගාරවලට පැනලා සිරකරුවන්ට පිස්තෝලය එල්ල කළ බව ඔවුන් දන්නවා. අනික් පැත්තෙන් සජබ ගොඩනඟන විට සභාපති ලෙස තෝරා ගත්, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා දැන් එළියේ. පොහොට්ටුවේ සභාපති ජී.ඇල්. පීරිස් ඇතුලේ. මේක මොනතරම් කැත පන්නයේ දේශපාලනයක්ද.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වන්දි ගැනීමට බාධා කළ නාලක ගොඩහේවා, සජිත් ප්‍රේමදාසගේ දකුණු අත. මහින්ද රාජපක්ෂට අප්පච්චී කියූ එස්.එම්. චන්ද්‍රසේන, රෝහිත අබේගුණවර්ධන දැන් රනිල්ට අප්පච්චි කියනවා. මේ දේශපාලනය ගැන ලැජ්ජා නැද්ද. රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගෙන හිරේ දාන තුරු නින්ද යන්නේ නැහැ කියූ මහින්දානන්ද අලුත්ගමගේ දැන් රනිල් වික්‍රමසිංහගේ ඔඩොක්කුවේ නිදි. මහ බැංකුවේ මහ දවල් මහා බැංකු බැඳුම්කර කොල්ලය හෙළිදරව් කළා කියන බන්දුල ගුණවර්ධනත් ඒ කියූ හොරාගේ තැන ඉන්නේ. මේක කැත නැද්ද. මේ කැත දේශපාලනය අපි අවසන් කළ යුතුයි. පුරවැසියන් ගැන, මාතෘ භූමිය ගැන වග නොකියන, මේ දේශපාලනය අපි අවසන් කළ යුතුයි. අපේ රටේ දේශපාලනය මාතෘ භූමියට සහ ජනතාවට වගකියන වෘත්තියක් බවට පත් කළ හැක්කේ ජාතික ජන බලවේගයට පමණයි” බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සඳහන් කරනවා.