තම නායකත්වයෙන් බිහිවන නව පාලනය විසින් ඉතාමත් සාමකාමීව නීති පද්ධතිය මගින් කටයුතු කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. ඇතැම් නීති ප්‍රමාණවත් නැත්නම් අවශ්‍ය නීති සම්පාදනය කරන බවයි ඔහු කියන්නේ. පසුගියදා ජාතික ජන බලවේගය විසින් සංවිධානය කළ මහරගම Ariyana Reach උත්සව ශාලාවෙ පැවති මහරගම ව්‍යාපාරික හමුවට එක්වෙමිනුයි ඔහු මෙම අදහස් පලකළේ.
“සම්පාදනය කරන නීති ජාතික ජන බලවේගයේ පළිගැනීමක් ලෙස සතුරන් අර්ථකථනය කරමින් සිටිනවා. ඒ වගේම රාජ්‍ය ආයතන මුහුණ දෙන අවශ්‍ය නිලධාරීන් පත්කිරීමේ දී ඔවුන්ගේ දේශපාලනය අපට කිසිසේත්ම අදාළ නැහැ. අදාළ ක්ෂේත්රයේ හැකියාවන් සහ නිපුණතාවයන් තිබෙනවාද යන්න පමණක් සලකා බලනවා. ආරියශීල වික්‍රමනායක මහතා මිල්කෝ ආයතනයට පත් කිරීමේ උදාහරණය දෙන්න පුළුවන්. රට කියන්නේ, ආණ්ඩුව කියන්නේ, අපේ පෞද්ගලික දේපළක් නොවෙයි. අපි හැමදෙනාම එක්වී රට ගොඩනැගිය යුතුයි.
හොඳින් මතක තියාගන්න අපේ ඇමති මණ්ඩලය 25යි. නියෝජ්‍ය ඇමතිවරු 25යි. ඒ හැර කැබිනට් නොවන ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරුන් කියලා කිසිවෙක් නැහැ. ඇමති සහ නියෝජ්‍ය ඇමතිවරුන්ගේ නිල නිවාස, ජල සහ විදුලි බිල් ගෙවීම් අනවශ්‍ය වාහන ලබාදීම් සියල්ල නතර කරනවා. දේශපාලකයන් වංචා, දූෂණ සිදුකරමින් සාමාන්‍ය ජනතාවට රට හදන්න කියලා හරියනවාද.
මම එක උදාහරණයක් දෙන්නම්. පසුගිය ඉන්ධන මිල ඉහළ ගිය අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන ඉන්ධන දීමනාව මාසයකට රුපියල් ලක්ෂයකින් වැඩි කළා. ජාතික ජන බලවේගයේ අපේ මන්ත්‍රීවරුන් තුන්දෙනාම එය අනවශ්‍ය බව කථානායකවරයාට ලිඛිතව දැනුම් දුන්නා. අපේ රටේ සමහර රෝහල් තිබෙනවා, ඇමිබියුලන්ස් එකක් නැති. නමුත් රනිල් වික්‍රමසිංහ පිටුපස්සෙන්, මහින්ද රාජපක්ෂ පිටුපස්සෙන් වගේම ශිරන්ති රාජපක්ෂ පිටුපස්සෙන් ඇම්බියුලන්ස් ගමන් කරනවා.
එවැනි රටක දී දේශපාලනය මොකක්ද කියලා අපි ඔබට ආදර්ශයෙන් ඔප්පු කරනවා.
මහජනයාට වඩා උඩින්, සඳලු තලයේ ඉන්න දේශපාලනය අපි අවසන් කරනවා. අපි අපේ වගකීමට දේශපාලනය තෝරා ගෙන තිබෙනවා. ඔබ ඔබේ වගකීම යටතේ වෘත්තියක් තෝරාගෙන තිබෙනවා. අපි දෙගොල්ල අතරේ පරතරයක් තිබිය යුතුද. නැහැ, කිසිසේත්ම එසේ වියයුතු නැහැ.
අපේ රට විශාල අගාධයක තිබෙන්නේ. සැප්තැම්බර් 21දායින් පසුව මෙය විසඳීමේ ආරම්භය ගන්නවා. ඒ වෙනුවෙන් සියලු දෙනාම එක්වී ධෛර්යයෙන් ක්‍රියාකරමු කියලා අපි ආරාධනා කරනවා” යි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.