ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සිය ජපන් සංචාරය බලා පිටව ගිය බව වාර්තා වෙනවා. ජාතික ජන බලවේගය විදෙස් කමිටු විසින් සංවිධානය කරන එතෙර සිටින ශ්‍රී ලාංකිකයන් සහභාගීවන ජනහමු මාලාවේ ජපන් ජන හමුවට සහභාගීවීම සඳහා යි ඔහු පිටත්ව ගොස් ඇත්තේ.

“අනුර දිසානායක සහෝදරයා මේ ඉරිදා එනම් 21 වෙනිදා ජපානයේ සිටින ශ්‍රී ලාංකිකයින් සහභාගීවන ජන හමුව ඇමතීමට නියමිතයි. ඒ සඳහා මේ වන විටත් ජාතික ජන බලවේගයේ ජපන් කමිටුව සියලු කටයුතු සුදානම් කරලා තියෙන්නේ. ඉරිදා සවස 2.00ට ජපානයේ Tsukuba වලදී මෙම ජන හමුව පැවැත්වෙනවා.

Tsukuba වල Yatabe Citizen Hall එකේ තමයි මෙම ජන හමුව පවත්වන්නේ. ඒ ජනහමුවට දැනටමත් ඒ ආසන්නයේ වගේම ඊට එපිට නගර වල ඉන්න ශ්‍රී ලාංකිකයොත් පැමිණෙන බව අපට දැනුම් දීලා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා අනුර දිසානායක සහෝදරයා සහභාගී වූ අනෙකුත් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ඇමතූ ජනහමු සේම සාර්ථක ජනහමුවක් ජපානයේත් පැවැත්වෙයි කියලා.

ඉරිදා ජනහමුවෙන් පස්සේ සඳුදා ඒ කියන්නේ 22 වෙනිදා අනුර සහෝදරයා ජපානයේ සිටින ව්‍යාපාරිකයින් සමඟ සාකච්ඡාවකට සහභාගී වෙනවා. ඒ සඳහා ජපානයේ ව්‍යාපාර කරන ශ්‍රී ලාංකිකයන් මෙන්ම ජපන් ව්‍යාපාරික පිරිසකුත් එක්වෙනවා.

එයින් පස්සේ අනුර කුමාර දිසානායක සහෝදරයා වෙනුවෙන් ඉහල පෙලේ ජපාන රාජතාන්ත්‍රිකයින් හමුවීම් කිහිපයක් සුදානම් කරලා තියෙනවා” යි අනුර කුමාර දිසානායක මහතාගේ ජපාන සංචාරය පිළිබඳව පැවසූ එහි සංවිධායකයින් සඳහන් කරනවා.