ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රධාන ලේකම්වරයෙකු වන නන්දන ගුණතිලක මහතා විසින් මතුකරන ලද, වත්මන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාද සම්බන්ධ වූ බව කියන ‘නීති මණ්ඩලයක්’ පිළිබඳ චෝදනාව, එම පක්ෂයේ වත්මන් ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා විසින් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනු ලැබීය.

සියත රූපවාහිනියේ පැවති දේශපාලන සංවාදයකට එක්වෙමින් ඔහු අවධාරණය කළේ, එම චෝදනාව “හිතාමතාම කිව්ව බොරුවක්” බවත්, එයට කිසිදු සත්‍ය පදනමක් නොමැති බවත්ය.
නන්දන ගුණතිලක මහතා මෑතකදී ප්‍රකාශ කර තිබුණේ, අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ‘නීති මණ්ඩලයක්’ තිබූ බවත්, වත්මන් අල්ලස් කොමිසමේ ඉහළ නිලධාරියෙකු ඇතුළු කිහිප දෙනෙකු එහි සාමාජිකයින් ලෙස කටයුතු කළ බවත්ය.

මෙම චෝදනාවට සෘජුව පිළිතුරු දුන් ටිල්වින් සිල්වා මහතා පෙන්වා දුන්නේ, එම චෝදනාව එල්ල වන 1994-95 වැනි කාලවකවානුවේදී ජනතා විමුක්ති පෙරමුණට එවැනි නීති මණ්ඩලයක් නොතිබූ බවයි.

“මම වගකීමෙන් කියන්නේ එතුමා (අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා) හිටියේ නෑ. ඒ කාලේ අපිට ‘නීති මණ්ඩලයක්’ කියලා එකක් තිබුණෙත් නෑ. අපිට නීතිඥවරු දෙතුන් දෙනෙක් තමයි හිටියේ,” යනුවෙන් ඔහු සඳහන් කළේය.

මර්ධනකාරී වටපිටාවකින් පසුව යළි දේශපාලනයට අවතීර්ණ වූ එම අවධියේදී නීතිඥවරුන් එක්රැස් කර එවැනි මණ්ඩලයක් පවත්වාගෙන යාමේ හැකියාවක් නොතිබූ බවද ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.

මෙවැනි අසත්‍ය චෝදනා නැගීමේ දේශපාලන චේතනාව පිළිබඳවද සිල්වා මහතා මෙහිදී අදහස් දැක්වීය. “පක්ෂයෙන් ගිහින් අපිට විරුද්ධවාදී වෙච්ච අයට, ඒගොල්ලෝ හිතුවේ නෑ පක්ෂය දිනයි කියලා. තමන් කලින් හිටපු, අතෑරලා ගිය ව්‍යාපාරයක් ජයග්‍රහණය කරනකොට ඒක දරාගන්න බැරි මනෝභාවයක් තියෙනවා,” යනුවෙන් පවසමින් ඔහු කියා සිටියේ පක්ෂයේ වත්මන් දේශපාලන නැගී ඒම දරාගත නොහැකිවූවන් මෙවැනි මඩ ප්‍රහාර එල්ල කරන බවයි.

එමෙන්ම, නන්දන ගුණතිලක හෝ විමල් වීරවංශ යන මහත්වරුන් යළි පක්ෂයට එක්කර ගන්නේදැයි නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු සිනාසෙමින් ප්‍රකාශ කළේ “දෙන්නම තෝරගන්නේ නෑ” යනුවෙනි.