මෙරට ජනතාව ඉදිරියේදී මහමගට බහින්නේ වත්මන් ආණ්ඩුව පෙරළා දැමීමට නොව, එය ආරක්ෂා කර ගැනීම සඳහා බව තමන්ට දැඩි විශ්වාසයක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කරයි.
1971 අප්‍රේල් අරගලයේදී දිවි පිදූවන් සිහිපත් කරමින් ඊයේ (05) වවුනියාවේදී පැවති 55 වැනි ‘අප්‍රේල් විරු සමරුවේ’ ප්‍රධාන සමරු දේශනය පවත්වමින් ඔහු මේ බව සඳහන් කළේය. ඉතිහාසයේ ප්‍රථම වතාවට උතුරු පළාත කේන්ද්‍ර කරගනිමින් අප්‍රේල් විරු සමරුවක් පැවැත්වීම මෙහිදී විශේෂත්වයක් විය.
මෙහිදී අදහස් දැක්වූ ප්‍රධාන ලේකම්වරයා පෙන්වා දුන්නේ, 1971 සහෝදර සහෝදරියන් දිවි පිදුවේ පෞද්ගලික අරමුණු වෙනුවෙන් නොව, ජාතිවාදයෙන් තොර, අයුක්තිය සහ අසාධාරණය නැති සමාජයක් ගොඩනැගීමේ පවිත්‍ර චේතනාවෙන් බවයි. එදා එම සන්නද්ධ අරගලය පරාජයට පත් වුවද, ඔවුන්ගේ අරමුණු පරාජය කිරීමට කිසිවෙකුට නොහැකි වූ බවත්, එම අරමුණු පෙරදැරිව අද ජාතික ජන බලවේගය ආණ්ඩු බලය ලබාගෙන ඇති බවත් ඔහු සිහිපත් කළේය.
“දැන් අපිට තිබෙන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනාගේම ආණ්ඩුවක්. ජාතිවාදය නැති, මහජන මුදල් හොරකම් නොකරන, සහෝදරත්වයෙන් ජීවත් විය හැකි ආණ්ඩුවක්. ඒ නිසා මේ ආණ්ඩුව ආරක්ෂා කිරීම අප සැමගේ වගකීමක්. විපක්ෂය නිරන්තරයෙන්ම උත්සාහ කරන්නේ රටට විනාශයක් හෝ කර බලය ලබාගන්නයි. ඒ අය ආණ්ඩුව පෙරළන්න බලාගෙන හිටියත්, මේ රටේ ජනතාව පාරට බහින්නේ මේ ආණ්ඩුව රැකගන්න බව අපිට විශ්වාසයි,” යනුවෙන් ටිල්වින් සිල්වා පැවසීය.
වත්මන් ගෝලීය අර්බුද හමුවේ වුවද රජය සාර්ථකව රට පාලනය කරන බව පෙන්වා දුන් ඔහු, මෑතකදී ඉරාන නෞකා අර්බුදයේදී ශ්‍රී ලංකාව අනුගමනය කළ මධ්‍යස්ථ සහ මානවවාදී ප්‍රතිපත්තිය ජාත්‍යන්තරයේ දැඩි පැසසුමට ලක්වූ බව ද මතක් කර දුන්නේය. විදුලිබල හා ඉන්ධන අර්බුද කළමනාකරණය කරමින්, ජනතාවට බාධාවකින් තොරව සේවා සැපයීමට රජය කැපවී සිටින බව ද ඔහු අවධාරණය කළේය.
“1971 දී ‘දණින් වැටී මිය යනවාට වඩා දෙපයින් සිටගෙන මිය යාම සතුටක්’ කියා සටන් කළ විරුවන්ගේ ආදර්ශය අපට අදටත් ශක්තියක්. බොරු ප්‍රචාර සහ අවලාදවලින් අපේ ගමන නතර කරන්න බැහැ. අපි සියලු දෙනා එක්ව ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ගොඩනගන තෙක් මේ සටන අත්හරින්නේ නැහැ,” යැයි ටිල්වින් සිල්වා සිය සමරු දේශනය අවසන් කරමින් වැඩිදුරටත් කියා සිටියේය.