1971 අරගලයට එක්වූ තරුණ පරපුර ප්‍රාර්ථනා කළ යුක්තිගරුක සහ සාධාරණ සමාජය ගොඩනැගීමේ මූලාරම්භය වත්මන් රජය විසින් මේ වන විට තබා ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, විදේශ කටයුතු හා සංචාරක අමාත්‍ය විජිත හේරත් අවධාරණය කරයි.
ඊයේ (05) මාතරදී පැවති 55 වැනි ‘අප්‍රේල් විරු සමරුවේ’ ප්‍රධාන සමරු දේශනය පවත්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය විජිත හේරත් පෙන්වා දුන්නේ, මීට වසර 55කට පෙර පීඩිත ජනතාව වෙනුවෙන් සාධාරණත්වය ඉල්ලා නැගී සිටි තරුණ පරපුර එදා පාලකයින් විසින් ම්ලේච්ඡ ලෙස මර්දනය කළ ද, ඔවුන්ගේ දර්ශනය සහ අරමුණු කිසිදිනෙක විනාශ කිරීමට නොහැකි වූ බවයි.
“කුරුසියේ ඇණ ගසා ජේසුස් වහන්සේගේ ධර්මය යටපත් කිරීමට නොහැකි වූවා සේම, 71 අපේ ආදරණීය පරපුර ටයර් සෑයවල් මත පුළුස්සා දැමුවත් ඒ නැගිටීම මරා දැමීමට කිසිවෙකුට නොහැකි වුණා. අද ජාතික ජන බලවේගය ලෙස අප බාරගෙන ඇත්තේ එදා 71 සහ 88-89 පරම්පරා පෙනී සිටි යුක්තිගරුක සාධාරණ සමාජය ගොඩනැගීමේ වගකීමයි,” යනුවෙන් ඔහු පැවසීය.
බංකොලොත් වී, ණය උගුලක සිරවී, දූෂණයෙන් පිරිහී තිබූ රටක් භාරගත් වත්මන් රජය, කෙටි කාලයක් තුළ ආර්ථිකය යළි නඟා සිටුවීමට සමත් වූ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. උද්ධමනය 1.7% දක්වා පහළ හෙළීම, ආර්ථික වර්ධනය 5% දක්වා ගෙන ඒම, විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක් දක්වා ඉහළ නැංවීම මෙන්ම රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම රජය ලබාගත් සුවිශේෂී ජයග්‍රහණ බව ඔහු සිහිපත් කළේය.
දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කරමින්, තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන ඇති බවත්, මෑතකදී බලපෑ ‘දිට්වා’ සුළි කුණාටු ව්‍යසනය හමුවේ පවා ආර්ථිකය කඩා වැටීමට ඉඩ නොදී කළමනාකරණය කිරීමට රජයට හැකි වූ බවත් විජිත හේරත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
වත්මන් ගෝලීය බලශක්ති අර්බුදය හමුවේ වුවද, රුසියාව, චීනය, ඉන්දියාව සහ ඇමෙරිකාව වැනි රටවල් සමඟ පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා හරහා ඉන්ධන, ගෑස් සහ පොහොර අඛණ්ඩව සපයා ගැනීමට රජය සමත් වී ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය. විදුලි ගාස්තු සංශෝධනයේදී ද අඩු ආදායම්ලාභීන් ආරක්ෂා කිරීමට පියවර ගෙන ඇති බව ඔහු කියා සිටියේය.
“ලෝකයේ යුද්ධයක් පවතින අතරතුර මේ සියල්ල කළමනාකරණය කර ගැනීමට අප සමත් වී සිටිනවා. 71 පරම්පරාවේ කැපවීම සහ සාමූහිකත්වය තුළින් ලද පන්නරය අද නව පරපුර අතට පත්වෙමින් තිබෙනවා. මේ ගමන නතර කිරීමට කිසිවෙකුටත් බැහැ,” යැයි අමාත්‍ය විජිත හේරත් සිය සමරු දේශනය අවසන් කරමින් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.