ඉතිහාසයේ ප්‍රථම වතාවට ප්‍රභූ නොවන පන්තියක් වෙත බලය හුවමාරු වීම දරාගත නොහැකිව, විරුද්ධවාදීන් පෙරටත් වඩා වැඩි සතුරු මානසිකත්වයකින් යුතුව වත්මන් රජයට එරෙහිව ක්‍රියාත්මක වෙමින් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ පාලක ලේකම් මෙන්ම කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත අවධාරණය කරයි.

ඊයේ (05) මාතරදී පැවති 1971 අප්‍රේල් අරගලයේ 55 වැනි ‘අප්‍රේල් විරු සමරුව’ අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, 1971 සහ 1988-89 සමයන්හිදී සිදුවූ අරගලවල මූලික අරමුණ වූයේ ප්‍රභූ පන්තියෙන් ප්‍රභූ නොවන පන්තියට බලය ලබා ගැනීම බවයි. එදා ආයුධ සන්නද්ධව කළ අරගලයේ දිගුවක් ලෙස, පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදී අයුරින් එම බලය දිනා ගැනීමට වත්මන් පරම්පරාව සමත් වූ බව හෙතෙම සිහිපත් කළේය.

“ලංකා ඉතිහාසයේ දෙවරක් ඡන්දය ගණන් කරලා ජනාධිපතිවරයෙක් තෝරාගෙන තිබුණේ නැහැ. නමුත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ජයග්‍රහණයෙන් පසු පැවති මහ මැතිවරණයේදී ජනතාව විශාල වශයෙන් එක්වී ආසන 159ක අතිවිශාල බලයක් ලබා දුන්නා. තමන්ගෙන් බලය ගිලිහෙයි කියා ප්‍රභූ පන්තිය කිසිදාක සිතුවේ නැහැ. අද ශක්තිමත් විපක්ෂයක් නැතත්, ඔවුන්ට නැවත ඔළුව ඔසවන්න බැරි බව තේරුම් ගෙන කලින් තිබුණාටත් වඩා වැඩි සතුරු මානසිකත්වයකින් ඔවුන් ක්‍රියාත්මක වෙනවා. අපේ සතුරන් මේ වෙලාවේ උත්සාහ කරන්නේ අපේ නායකත්වය පිළිබඳව විශ්වාසය බිඳ වට්ටන්නයි,” යනුවෙන් අමාත්‍ය ලාල්කාන්ත පැහැදිලි කළේය.

රට ගොඩනැගීමේ අභියෝගය ජය ගැනීම සඳහා ග්‍රාමීය මට්ටමින් ‘ප්‍රජා ශක්ති’ සංවර්ධන කමිටු ස්ථාපිත කර ඇති බවත්, එමගින් ගමේ සංවර්ධන තීරණ ගැනීමේ බලය සහ මූල්‍ය ප්‍රතිපාදන පළමු වරට ග්‍රාමීය ජනතාව අතට පත් කර ඇති බවත් ඔහු අවධාරණය කළේය. මෙය නියෝජිතයින්ට බලය පවරා බලා සිටින පැරණි ප්‍රභූවාදී දේශපාලනය වෙනස් කිරීමක් බව ද ඔහු පෙන්වා දුන්නේය.

වර්තමානයේ පවතින ගෝලීය ඉන්ධන අර්බුදය වැනි බාහිර කම්පනයන්ට ද රජය සාර්ථකව මුහුණ දෙමින් සිටින බව පැවසූ අමාත්‍යවරයා, පසුගිය ආණ්ඩුව සමයේ තෙල් පෝලිම් නිර්මාණය වූයේ මහජන මුදල් කොල්ලකෑම නිසා වුවද, වර්තමාන අර්බුදය අධිරාජ්‍යවාදී යුද්ධයක ප්‍රතිඵලයක් බව පැහැදිලි කළේය. කෙසේ වෙතත්, ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් ගොවීන්ට අවශ්‍ය ඉන්ධන ලබා දීමට රජය ප්‍රමුඛතාව දී ඇති බව ද ඔහු සඳහන් කළේය.

සමාජයේ ආත්මාර්ථකාමී චින්තනය වෙනස් කර සහෝදරත්වය සහ සාමූහිකත්වය මත පදනම් වූ රාජ්‍යයක් ගොඩනැගීමට දශක දෙකක පමණ අඛණ්ඩ වැඩපිළිවෙළක් අවශ්‍ය බවත්, ඒ සඳහා සියලු දෙනා එක්විය යුතු බවත් අමාත්‍ය ලාල්කාන්ත වැඩිදුරටත් කියා සිටියේය.