දේශීය පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන ක්ෂේත්‍රය ශක්තිමත් කරමින් අපනයනකරුවන්ට සහන සැලසීම සඳහා නව බදු සංශෝධන හඳුන්වා දීමට රජය විශේෂ අවධානයක් යොමු කර ඇති බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.

ඊයේ (30) පැවති විශේෂ සාකච්ඡාවකදී පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනකරුවන් මුහුණ දෙන ගැටලු මෙන්ම, ඉදිරියේදී මුදල් අමාත්‍යාංශය හරහා හඳුන්වා දීමට නියමිත නව ආනයන හා අපනයන බදු ප්‍රතිපත්ති පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

අපනයන ක්ෂේත්‍රයේ පවතින බාධා අවම කරමින් එය තවදුරටත් ශක්තිමත් කිරීම සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවේ තරඟකාරීත්වය ඉහළ නැංවීම මෙම වැඩපිළිවෙළේ මූලික අරමුණයි. යෝජිත බදු සංශෝධන හරහා අපනයනකරුවන්ට වැඩි පහසුකම් සැලසීමෙන් රටේ විදේශ විනිමය ආදායම ඉහළ යනු ඇතැයි රජය අපේක්ෂා කරයි.

මෙම සාකච්ඡාව සඳහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, අමාත්‍යාංශ ලේකම් ගුණදාස අමරසිංහ සහ පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණතුංග ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙන්ම අපනයනකරුවන් පිරිසක් ද එක්ව සිටියහ.