වත්මන් රජය බලයට පත්වූ 2024 වර්ෂයේ සිට මේ දක්වා ගතවූ කාලය තුළ, මෙරට ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අයත් රුපියල් මිලියන 3,270ක (රු. කෝටි 327ක) දේපළ තහනම් කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ. 2026 වසරේ මුල් මාස හතරේදී පමණක් පුද්ගලයන් 08 දෙනෙකුට අයත් රුපියල් මිලියන 170ක වත්කම් මෙලෙස තහනම් කර ඇත.

ඊට අමතරව, විදේශයන්හි සැඟව සිටි සංවිධානාත්මක අපරාධකරුවන් 29 දෙනෙකු මේ කාලය තුළ මෙරටට ගෙන්වා ගැනීමට සමත් වී ඇති අතර, තවත් අපරාධකරුවන් 89 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ රතු නිවේදන (Red Notices) නිකුත් කර තිබේ.

‘රටම එකට’ ජාතික මත්ද්‍රව්‍ය මර්දන මෙහෙයුමට අදාළව මෙතෙක් අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඊයේ (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවකදී මෙම තොරතුරු අනාවරණය විය. යුද, නාවික සහ ගුවන් හමුදාවල මාධ්‍ය ප්‍රකාශකවරුන් වන බ්‍රිගේඩියර් වරුණ ගමගේ, ගෲප් කැප්ටන් බුද්ධික සම්පත්, නලින් වැවකුඹුර මෙන්ම පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ.කේ. වුට්ලර් සහ රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මීට එක්ව සිටියහ.

2025 ඔක්තෝබර් 30 වැනිදා ආරම්භ කළ ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ නාවික හමුදාව පැය 24 පුරා මුහුදු සීමාව ආවරණය කරමින් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි. නාවික හමුදා දත්තවලට අනුව 2025 වර්ෂයේදී රුපියල් බිලියන 76කට අධික වටිනාකමකින් යුත් හෙරොයින්, අයිස් හා කොකේන් අත්අඩංගුවට ගෙන ඇත. 2026 වසරේ මුල් මාස තුනේදී තවත් රුපියල් බිලියන 25ක මත්ද්‍රව්‍ය සමඟ බහුදින ධීවර යාත්‍රා 09ක් සහ සැකකරුවන් 49ක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය, විශේෂ කාර්ය බළකාය සහ බුද්ධි අංශ ඒකාබද්ධව පසුගිය මාස පහ තුළ සිදුකළ මෙහෙයුම්වලින් සැකකරුවන් ලක්ෂයකට (100,000) අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී හෙරොයින් කිලෝග්‍රෑම් 1,071ක්, අයිස් කිලෝග්‍රෑම් 938ක් සහ මත්පෙති ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇත. අත්අඩංගුවට ගන්නා මෙම මත්ද්‍රව්‍ය වනාතවිල්ලුව සහ පුත්තලම ප්‍රදේශවල පිහිටි අධිතාප උඳුන් (Incinerators) භාවිතයෙන් සම්පූර්ණයෙන්ම විනාශ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මෙම මෙහෙයුමේ තවත් සුවිශේෂී අංගයක් වන්නේ නීති විරෝධී වත්කම් තහනම් කිරීමයි. ඒ අනුව පසුගිය මාස පහක කාලය තුළ සැකකරුවන් 215 දෙනෙකුගේ වත්කම් විමර්ශනය කර ඇත. 2024 වසරේදී සැකකරුවන් 49 දෙනෙකුට අයත් රුපියල් මිලියන 1,597ක දේපළ ද, 2025 වසරේදී 30 දෙනෙකුට අයත් රුපියල් මිලියන 1,546ක දේපළ ද තහනම් කර ඇත. අයුතු ලෙස උපයා ගත් රන් ආභරණ, මුදල්, යාන වාහන, ඉඩම් සහ ට්‍රෝලර් යාත්‍රා රජය සතු කිරීම මෙහිදී සිදු කෙරේ.

මෙම මෙහෙයුම් සඳහා ගුවන් හමුදාව ඩ්‍රෝන යානා සහ ගුවන් නිරීක්ෂණ ඔස්සේ සහාය දෙන අතර, යුද හමුදාව බුද්ධි තොරතුරු සැපයීමෙන් වැටලීම් 200කට අධික ප්‍රමාණයකට දායක වී ඇත. ශ්‍රී ලංකා රේගුව පසුගිය වසරේදී රුපියල් බිලියන 5.8ක මත්ද්‍රව්‍ය වැටලීම් 147ක් සිදු කර තිබේ. විශේෂයෙන් අන්තර්ජාලය හරහා කුඩා පාර්සල් ලෙස මත්ද්‍රව්‍ය ගෙන්වීම මැඩලීම සඳහා රේගුව නව තොරතුරු තාක්ෂණ පද්ධති යාවත්කාලීන කරමින් ලෝක රේගු සංවිධානය (WCO) සමඟ ඒකාබද්ධව දැඩි නියාමනයක් ආරම්භ කර ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ තොරතුරු ලබා දෙන මහජනතාවගේ රහස්‍යභාවය 100%ක් ආරක්ෂා කරන බව ආරක්ෂක අංශ සහතික වන අතර, ඒ සඳහා විශේෂ දුරකථන අංක හඳුන්වා දී තිබේ. මෙම තොරතුරු රට පුරා පිහිටි පොලිස් ස්ථාන 608ක් සහ ප්‍රාදේශීය කොට්ඨාස 48ක් වෙත ක්ෂණිකව ලබා දීමට පියවර ගෙන ඇත.