සායනික රෝගීන්ට ඖෂධ ලබා ගැනීමේදී පෝලිම්වල රැඳී සිටීමෙන් සිදුවන අපහසුතාවයන් මඟහරවා ගැනීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට “ස්මාර්ට් ටෝකන්” (Smart Token) ක්‍රමවේදයක් හඳුන්වා දීමට ගාල්ල ජාතික රෝහල පියවර ගෙන තිබේ.

මෙම නව ක්‍රමවේදය යටතේ, සායනයෙන් ඖෂධ වට්ටෝරුව ලබාගන්නා රෝගීන් එය ඖෂධ නිකුත් කරන ස්ථානයට ඉදිරිපත් කර ලියාපදිංචි වීමෙන් අනතුරුව ඔවුන් වෙත විශේෂ ටෝකන් අංකයක් නිකුත් කෙරේ. ඉන්පසු රෝගීන්ට පෝලිම්වල හිටගෙන සිටීමෙන් තොරව, සුවපහසු ලෙස අසුන්ගෙන තමන්ට හිමි අංකය කැඳවන තෙක් රැඳී සිටීමට අවස්ථාව හිමි වේ. එමගින් කිසිදු තදබදයකින් හෝ කලබලයකින් තොරව ඖෂධ ලබා ගැනීමට රෝගීන්ට පහසුකම් සැලසේ.

දැනට නියමු ව්‍යාපෘතියක් (Pilot Project) ලෙස සාර්ථකව ක්‍රියාත්මක වන මෙම ක්‍රමවේදය, ඉදිරියේදී ස්මාර්ට් දුරකථන සහ QR කේත (QR Code) පදනම් කරගත් වඩාත් දියුණු ඩිජිටල් පද්ධතියක් දක්වා වැඩිදියුණු කිරීමට සැලසුම් කර ඇති බව රෝහල් බලධාරීහු පවසති.

එසේම, සායනික රෝගීන්ට අමතරව ඉදිරියේදී බාහිර රෝගී අංශයෙන් (OPD) ඖෂධ ලබා ගන්නා රෝගීන් සඳහා ද මෙම ස්මාර්ට් ටෝකන් ක්‍රමය ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන බව ගාල්ල ජාතික රෝහල වැඩිදුරටත් සඳහන් කරයි.