ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය සපයන ප්‍රබල ජාවාරම්කරුවන් 29 දෙනෙකු මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් විදෙස් රටවලදී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන්වා ඇති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, නීතිඥ සුනිල් වටගල පවසයි.
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ අද (25) පැවති “රටම එකට” ජාතික මෙහෙයුම් වැඩසටහනට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.
“මෙම කළු ව්‍යාපාරයේ ප්‍රධාන අංග දෙකක් තිබෙනවා. ඒ සැපයුම සහ ඉල්ලුම. ත්‍රිකුණාමලය වරායට බෝට්ටුවකින් එන මත්ද්‍රව්‍ය මෙරට තරුණයින් භාවිත කරනවා. අපි තීරණය කළා මේ ඉල්ලුම නැති කරන්න. මීට පෙර පැවති කිසිදු රජයක් මෙම සැපයුම් ජාලයේ ඉහළටම අත තැබුවේ නැහැ. වැටලීම් වෙරළෙන් හෝ ගුවන් තොටුපොළෙන් නතර වුණා. නමුත් වත්මන් රජය තීරණය කළා සැපයුම් දාමයේ ඉහළම පුරුක් සොයා යාමට. ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉන්දුනීසියාව, නේපාලය සහ පාකිස්තානය වැනි රටවලට ගොස් ප්‍රබලතම මත්ද්‍රව්‍ය සැපයුම්කරුවන් 29 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා,” යැයි ඔහු පැහැදිලි කළේය.
විශේෂයෙන් ඉන්දුනීසියාවෙන් ගෙන්වා ගත් අපරාධකරුවන් සිදුකරන පාපොච්චාරණ හේතුවෙන් ඇතැම් පිරිස් මේ වන විට දැඩි ලෙස කලබලයට පත්ව ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා, “මෙය පහසුවෙන් මුදල් සෙවීමට (Easy Money) භාවිත කරන ජාවාරමක්. මේ වටා මත්ද්‍රව්‍ය, පාතාලය සහ නීතිවිරෝධී අවි ජාවාරම යන ත්‍රිත්වයම බැඳී පවතිනවා. මෙම කළු ව්‍යාපාරය මෙතරම් වර්ධනය වීමට ප්‍රධාන හේතුව වූයේ දේශපාලන අධිකාරියේ රැකවරණයයි. දියවන්නාවෙන් තමයි මෙය පෝෂණය වුණේ. ඇතැම් දේශපාලනඥයින් තමන්ගේ මැතිවරණ ව්‍යාපාර පෝෂණය කළේ මෙම කළු ව්‍යාපාර හරහා ලැබුණු මුදල්වලින්,” යැයි දැඩි ලෙස චෝදනා කළේය.