ශ්‍රී ලංකාවේ දෛනික විදුලි පරිභෝජනය උපරිම මට්ටමට ළඟා වන පස්වරු 06.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලසීමාව තුළ බලශක්තිය මනා කළමනාකරණයකින් යුතුව භාවිත කරන ලෙස ජනතාව දැනුවත් කිරීමටත්, ජාතික බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
මැදපෙරදිග යුදමය වාතාවරණය හේතුවෙන් ලොව පුරා මතුව ඇති බලශක්ති සැපයුම් අර්බුදය හමුවේ, ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාව පවත්වාගෙන යාම වෙනුවෙන් ගත හැකි ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඊයේ (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, මෙම අභියෝගය ජය ගැනීම සඳහා රාජ්‍ය ආයතන මෙන්ම පුද්ගල මට්ටමින් ද උපරිම දායකත්වයක් ලබා දීම මේ මොහොතේ සියලු දෙනාගේම වගකීමක් බවයි.
පසුගිය සති කිහිපය තුළ රජය විසින් බලශක්ති කළමනාකරණය සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග තවදුරටත් ප්‍රායෝගික තලයට ගෙන එමින්, රාජ්‍ය සේවයට අදාළව නිකුත් කළ යුතු නව මාර්ගෝපදේශ පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. එසේම, පළාත් පාලන ආයතන මට්ටමින් බලශක්ති පරිභෝජනය විධිමත් කිරීම සඳහා එම ආයතන සමඟ කඩිනම් සාකච්ඡා පවත්වන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
විශේෂයෙන්ම වාණිජ දැන්වීම් පුවරු සහ අනෙකුත් අලංකරණ විදුලි පද්ධති සඳහා විශාල විදුලියක් වැය වන බැවින්, ඒවා සීමා කිරීම හරහා ජාතික විදුලි පරිභෝජනයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ඉතිරි කර ගත හැකි බව මෙහිදී අවධාරණය විය. ඊට සමගාමීව, නාගරික ප්‍රදේශවල අත්‍යවශ්‍ය නොවන වීදි ලාම්පු භාවිතය අවම කිරීම සඳහා ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශය ඉදිරිපත් කළ යෝජනා ද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.
අදාළ සියලු පාර්ශව ඒකාබද්ධ කරගනිමින් මෙම විකල්ප ක්‍රමවේද කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යවරුන් වන චන්දන අබේරත්න, බිමල් රත්නායක, කුමාර ජයකොඩි යන අමාත්‍යවරු ද, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, අමාත්‍යාංශ ලේකම්වරුන්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ටී. පාස්කරන් සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.