ශ්‍රී ලංකාව තම රටේ සමීප මිතුරෙකු බවත්, ඕනෑම අවස්ථාවක මෙරටට උපකාර කිරීමට ඉරානය සූදානමින් සිටින බවත් ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති අලිරේසා ඩෙල්කොෂ් (Alireza Delkhosh) අවධාරණය කරයි.

කොළඹ පිහිටි ඉරාන තානාපති කාර්යාලයේ අද (23) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් තානාපතිවරයා පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන හෝ වෙනත් ඕනෑම අත්‍යවශ්‍ය භාණ්ඩයක් ඉල්ලා සිටියහොත්, එය ලබාදීමට ඉරාන රජය සූදානම් බවයි. මැදපෙරදිග අර්බුදය හමුවේ හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇතැයි පැවසුව ද, එය තම මිත්‍ර රටවල් සඳහා විවෘතව පවතින බව ද ඔහු මෙහිදී තහවුරු කළේය.

ශ්‍රී ලංකාව යනු ඉරානයට අතිශය ගෞරවනීය රාජ්‍යයක් බව පෙන්වා දුන් අලිරේසා ඩෙල්කොෂ්, ශ්‍රී ලංකාව කරදරයක වැටෙනු දැකීම තම රටේ අපේක්ෂාව නොවන බව ද කියා සිටියේය.

මෑතකදී ජාත්‍යන්තර මුහුදු සීමාවේදී අමෙරිකානු සබ්මැරීනයකින් එල්ල කළ ටෝපිඩෝ ප්‍රහාරයකින් මුහුදුබත් වූ ඉරාන ‘IRIS Dena’ යුද නෞකාවේ සිටි නාවිකයින් බේරා ගැනීම සම්බන්ධයෙන් ද තානාපතිවරයා මෙහිදී අදහස් දැක්වීය. ඉරාන රජය ඉල්ලීමක් කිරීමටත් පෙර ශ්‍රී ලංකා නාවික හමුදාව ස්වේච්ඡාවෙන්ම මැදිහත් වී එම පිරිස මුදාගැනීම පිළිබඳව ඔහු ශ්‍රී ලංකාවට සිය හෘදයාංගම කෘතවේදීත්වය පළ කළේය.

මේ අතර, ඉරානය තුළ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද ඔහු කරුණු පැහැදිලි කළේය. ඉරානයේ පදිංචි විදේශිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පුළුල් යටිතල පහසුකම් ස්ථාපිත කර ඇති බවත්, මේ දක්වා ඔවුන්ට බලපාන කිසිදු ගැටලුවක් වාර්තා වී නොමැති බවත් ඔහු පෙන්වා දුන්නේය. කෙසේ වෙතත්, යම් ශ්‍රී ලාංකිකයෙකුට නැවත මව්බිමට පැමිණීමට අවශ්‍යතාවක් ඇත්නම්, ඒ සඳහා අවශ්‍ය පූර්ණ පහසුකම් සපයා දීමට ඉරාන රජය සූදානම් බව ද තානාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.