රුපියල් මිලියන 800කට ආසන්න මුදලක් රජයට අහිමි කිරීමේ චෝදනා මත, හිටපු අමාත්‍ය අර්ජුන රණතුංගට සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංගට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර තිබූ අධිචෝදනා පත්‍ර අද (23) කොළඹ මහාධිකරණයේදී විත්තිකරුවන් වෙත භාර දෙනු ලැබීය.
පසුගිය ජනවාරි 22 වැනිදා මෙම නඩුව ගොනු කර තිබූ අතර, අද දින අධිකරණය හමුවේ පෙනී සිටි විත්තිකරුවන් දෙදෙනා රුපියල් මිලියන 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය. නඩුවේ පූර්ව විභාග සම්මන්ත්‍රණය (Pre-trial conference) එළඹෙන මැයි මස 15 වැනිදා කැඳවන ලෙස ද අධිකරණය නියම කර තිබේ.
යහපාලන ආණ්ඩුව පැවති සමයේ, එනම් 2017 – 2018 අතර මාස 06ක කාලසීමාවක් තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් මෙරටට අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීම සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දිගුකාලීන ටෙන්ඩර් 03ක් අවලංගු කර, ඒ වෙනුවට වැඩි මිල ගණන් යටතේ ස්ථානීය (Spot) ටෙන්ඩර් 27ක් ක්‍රියාත්මක කිරීමට කටයුතු සැලැස්වීම මෙම විත්තිකරුවන්ට එරෙහි ප්‍රධාන චෝදනාව වේ.
මෙම අක්‍රමිකතාව තුළින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් මිලියන 800කට ආසන්න දැවැන්ත මූල්‍ය පාඩුවක් සිදු කිරීම සහ ඊට ආධාර අනුබල දීම යන චෝදනා යටතේ අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා ඇත.