ශ්‍රී ලංකාව තුළ අල්ලස් සහ දූෂණවලට එරෙහිව ගනු ලබන දැඩි නීතිමය ක්‍රියාමාර්ග හේතුවෙන් එම අපරාධ ආශ්‍රිත තර්ජන මට්ටම කැපී පෙනෙන ලෙස පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය (FIU) විසින් නිකුත් කළ නවතම වාර්තාව මගින් තහවුරු කර තිබේ.
මීට පෙර ‘ඉහළ මධ්‍යම’ (High Medium) කාණ්ඩයේ පැවති ශ්‍රී ලංකාවේ අල්ලස් සහ දූෂණ තර්ජන මට්ටම, මේ වන විට ‘මධ්‍යම’ (Medium) මට්ටම දක්වා අඩු වී ඇත. ගෝලීය දූෂණ සංජානන දර්ශකයට (Corruption Perceptions Index – CPI) අනුව 2024 වසරේ ලකුණු 32ක් ලබා ගනිමින් 121 වන ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව, 2025 වසරේදී ලකුණු 35ක් ලබාගෙන 107 වන ස්ථානය දක්වා ස්ථාන 14කින් ඉදිරියට පැමිණ තිබීම මීට කදිම නිදසුනකි.
කෙසේ වෙතත්, අල්ලස් දර්ශකයේ ප්‍රගතියක් පෙන්වුව ද, මුදල් විශුද්ධිකරණය (Money Laundering) ආශ්‍රිත තර්ජන මට්ටම ‘ඉහළ මධ්‍යම’ මට්ටමේ සිට ‘ඉහළ’ (High) මට්ටම දක්වා වර්ධනය වී ඇති බව මෙම ජාතික අවදානම් ඇගයීම් වාර්තාව පෙන්වා දෙයි. එහිදී මුදල් විශුද්ධිකරණය සඳහා පාදක වන වඩාත්ම බරපතළ මූලික වරද ලෙස ‘මත්ද්‍රව්‍ය ජාවාරම’ හඳුනාගෙන තිබේ.
ඊට අමතරව මංකොල්ලකෑම්, පාරිසරික සහ ස්වාභාවික සම්පත් ආශ්‍රිත අපරාධ, අනීතික සහ නියාමනය නොකළ මසුන් ඇල්ලීම (IUU fishing), මිනිස් ජාවාරම සහ බදු අපරාධ ද මුදල් විශුද්ධිකරණ අවදානම සම්බන්ධයෙන් ‘මධ්‍යම’ මට්ටමේ පවතින බව වාර්තා වේ.
මෙම ජාතික අවදානම් ඇගයීම, මෙරට මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මූල්‍ය පහසුකම් සැපයීම සහ සමූල ඝාතක අවි ප්‍රගුණනය සඳහා මුදල් යෙදවීම පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාදෙන වැදගත් මූලාශ්‍රයක් බව මහ බැංකුව පවසයි. ඒ අනුව ඉහළ අවදානමක් පවතින ක්ෂේත්‍ර වෙත වැඩි සම්පත් ප්‍රමාණයක් වෙන් කරමින් එම අවදානම් අවම කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශ ඒකාබද්ධව කටයුතු කිරීමේ වැදගත්කම එහි අවධාරණය කර ඇත.
2006 අංක 06 දරන මූල්‍ය ගනුදෙනු වාර්තාකරණ පනත යටතේ ආවරණය වන සියලුම මූල්‍ය සහ මූල්‍ය නොවන ආයතන, මෙම නවතම නිරීක්ෂණ සිය ආයතනික අවදානම් කළමනාකරණ උපායමාර්ගවලට ඇතුළත් කර ගත යුතු බවට ද මූල්‍ය බුද්ධි ඒකකය උපදෙස් ලබා දී තිබේ.