2022 වසරේදී මෙරටට ඉන්ධන ආනයනය කිරීම සඳහා ප්‍රමාණවත් ඩොලර් සංචිත නොමැති වීම හේතුවෙන් නිර්මාණය වූ දැවැන්ත ඉන්ධන පෝලිම් අර්බුදය සමනය කිරීම සඳහා මූලික ක්‍රියාමාර්ග ගැනීමට එවකට බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරට මාස 02කට අධික කාලයක් ගත වී ඇති බවට තොරතුරු යළි මතුව තිබේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ 2022 මැයි 01 වැනිදා නිකුත් කළ නිවේදනයකට අනුව, මුලින්ම ඉන්ධන කෝටා ක්‍රමයක් හඳුන්වා දී ඇත. ඉන් මාස දෙකකට පසුව ජූලි මාසයේදී ජාතික ඉන්ධන අවසරපත්‍රය හෙවත් QR ක්‍රමය හඳුන්වා දුන් අතර, එහි මතු වූ ප්‍රායෝගික ගැටලු නිරාකරණය කිරීම සඳහා තවත් සති තුනකට ආසන්න කාලයක් ගත වී තිබිණි.
මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් පාර්ශව QR ක්‍රමය කංචන විජේසේකරගේ පෞද්ගලික නිර්මාණයක් බවට ප්‍රචාර ගෙන යමින් සිටිති. එහෙත්, මෙම පද්ධතිය නිර්මාණය කර හඳුන්වා දුන් තාක්ෂණික ආයතන පිළිබඳව ඔහු විසින්ම මීට පෙර තබා තිබූ ‘X’ (කලින් ට්විටර්) සටහනක් ඇසුරින් සකස් කළ විස්තරාත්මක වාර්තාවක් වෙබ් අඩවියක පළ වී ඇත. අදාළ වාර්තාවට අනුව, මෙය රාජ්‍ය හා පෞද්ගලික තාක්ෂණික ආයතන කිහිපයක ඒකාබද්ධ ව්‍යාපෘතියක් බව තහවුරු වේ.
කෙසේ වෙතත්, වර්තමානයේ උද්ගතව ඇති ගෝලීය බලශක්ති අර්බුදය හමුවේ යළිත් වරක් ඉන්ධන ගැටලු කළමනාකරණය සඳහා QR ක්‍රමය ක්‍රියාත්මක කිරීමට වත්මන් රජය පියවර ගෙන තිබේ. එහිදී පෙර පැවති ප්‍රායෝගික ගැටලු රැසක් පැය 24ක් ගත වීමටත් මත්තෙන් විසඳීමට බලධාරීන්ට හැකි වී ඇති බව වාර්තා වේ.