රට තුළ උද්ගතව ඇති ඉන්ධන අර්බුදයට මුහුණ දීමේ පියවරක් ලෙස, හෙට (17) සිට ක්‍රියාත්මක වන පරිදි සෑම බදාදා දිනයක්ම රාජ්‍ය සේවකයින්ට නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මේ බව නිල වශයෙන් ප්‍රකාශ කළේය. ඒ අනුව, රාජ්‍ය නිලධාරීන්ට අමතරව දිවයිනේ සියලුම රජයේ පාසල්, විශ්වවිද්‍යාල සහ අධිකරණ සඳහා ද බදාදා දිනය නිවාඩු දිනයක් වනු ඇත.
සතියේ ඉතිරි වැඩකරන දින හතර තුළ සේවා ස්ථානයට කැඳවිය යුතු සේවකයින් සංඛ්‍යාව කොපමණද යන්න තීරණය කිරීමේ පූර්ණ බලය අදාළ රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත පවරා ඇති බව ද අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා මෙහිදී සඳහන් කළේය. මීට අමතරව, ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබූ සියලුම රාජ්‍ය උත්සව තාවකාලිකව අත්හිටුවීමට ද රජය තීරණය කර ඇත.
ඉන්ධන ඉතිරි කර ගැනීමේ අරමුණින් රජය ගන්නා මෙම වැඩපිළිවෙළ අනුගමනය කරමින් ඊට සහාය වන ලෙස පෞද්ගලික අංශයෙන් ද රජය වැඩිදුරටත් ඉල්ලා සිටී.