පාසල් දරු දැරියන්ගේ ප්‍රවාහන අවශ්‍යතා ආරක්ෂිතව සහ කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ මූලිකත්වයෙන් නව ජාතික වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

මේ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්නගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) ‘ඉසුරුපාය’ අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

නව වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, පෞද්ගලික බස් රථ, පාසල් වෑන් රථ මෙන්ම දෙමාපියන් සහ ඥාතීන් විසින් ලබාදෙන ප්‍රවාහන සේවා ද ඇතුළු සමස්ත පාසල් ප්‍රවාහන මාධ්‍යය එක් ව්‍යුහයක් ලෙස සලකා පොදු නිර්ණායක යටතේ නියාමනය කිරීමට අපේක්ෂා කෙරේ. මෙහි මූලික අරමුණ වන්නේ මාර්ග ආරක්ෂාව සහ ප්‍රවාහන සුරක්ෂිතතාව තහවුරු කිරීමයි.

දැනට දෛනිකව ක්‍රියාත්මක වන ‘සිසු සැරිය’ සේවා 1,620 හරහා සිසුන් 120,000ක් පමණ සහන ගාස්තු (50%) යටතේ ප්‍රවාහන පහසුකම් ලබා ගනිති. මෙම සේවාව තවදුරටත් පුළුල් කරමින් වායුසමනය කළ (A/C) බස් රථ යෙදවීමටත්, ග්‍රාමීය හා පටු මාර්ග සඳහා සුදුසු වෑන් රථ යෙදවීමටත් රජය සැලසුම් කර ඇත. ඊට අමතරව, සිසු ප්‍රවාහනයේ නිරත වන වයස අවුරුදු 30ට වැඩි රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට අඛණ්ඩ පුහුණුවක් ලබාදීමටත්, ජී.පී.එස් (GPS) තාක්ෂණය මගින් මෙම සේවා අධීක්ෂණය කිරීමටත් නව යෝජනා අතරට එක්ව තිබේ.

දැනටමත් ප්‍රවාහන අවශ්‍යතා පවතින සිසුන් සිටී නම්, විදුහල්පතිවරුන් මාර්ගයෙන් ලංගම හෝ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය වෙත ඉල්ලීම් යොමු කළ හැකි බව මෙහිදී දැනුම් දෙන ලදී. ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායකගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙළ සඳහා අවශ්‍ය මූල්‍ය සහ භෞතික සම්පත් ලබාදීමට පියවර ගෙන ඇත.

මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් උදාරා දික්කුඹුර, ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ඉංජිනේරු පී.ඒ. චන්ද්‍රපාල ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ