2026 සිංහල හා දෙමළ අලුත් අවුරුදු හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය මෙවර මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේ පිහිටි නාථ දේවාල භූමියේදී පැවැත්වීමට තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් මල්වතු සහ අස්ගිරි උභය මහා විහාර පාර්ශ්වයන්හි අතිපූජ්‍ය මහානායක සහ අනුනායක ස්වාමීන් වහන්සේලා දැනුවත් කර, උන්වහන්සේලාට නිල වශයෙන් ආරාධනා කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් අද (14) සිදු කරන ලදී.
ඒ අනුව, මල්වතු මහා විහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අස්ගිරි පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක වරකාගොඩ ශ්‍රී ඤාණරතන යන මහානායක හිමිවරුන් ද, මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි සහ දිඹුල්කුඹුරේ විමලධම්ම යන හිමිවරුන් ද, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වෙඬරුවේ උපාලි සහ නාරම්පනාවේ ආනන්ද යන අනුනායක ස්වාමීන් වහන්සේලා ද බැහැදැක අමාත්‍යවරයා ආශිර්වාද ලබා ගත්තේය.
මහනුවර රාජධානිය පැවති සමයේ අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කිරීමේදී ශ්‍රී දළදා මාලිගාවට සහ රජ මාලිගාවට ප්‍රමුඛ ස්ථානයක් හිමිව තිබූ බව මෙහිදී සිහිපත් කෙරිණි. එම අතීත චාරිත්‍ර වාරිත්‍රවලට යළිත් ගෞරවයක් ලබා දෙමින්, මෙවර හිසතෙල් ගෑමේ ප්‍රධාන රාජ්‍ය උත්සවය ඓතිහාසික නාථ දේවාල භූමියේදී පැවැත්වීමට රජය ගත් තීරණය මහා නාහිමිවරුන්ගේ දැඩි ප්‍රසාදයට ලක් විය.
මෙම රාජ්‍ය මහෝත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ආයුර්වේද දෙපාර්තමේන්තුව, ආයුර්වේද ඖෂධ සංස්ථාව සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යන ආයතනවල ඒකාබද්ධ සංවිධායකත්වයෙන් පැවැත්වීමට නියමිතය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන දේශීය වෛද්‍ය යූ.එස්.කේ. දෙනාවත්ත සහ දේශීය වෛද්‍ය සමන්ති රණසිංහ, ආයුර්වේද කොමසාරිස් ජනරාල් ඒ.එම්.ජී.එන්. දීප්ති සුමනසේන, ආයුර්වේද සංස්ථාවේ සභාපති ගීතාමනී සී. කරුණාරත්න සහ මධ්‍යම පළාත් ආයුර්වේද කොමසාරිස් අජන්තා දිසානායක ඇතුළු පිරිසක් එක්ව සිටියහ.