මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ එම කලාපයේ සේවය කරන ලක්ෂ 10කට ආසන්න ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය විශේෂ අවධානයක් යොමු කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
වත්මන් තත්ත්වය පැහැදිලි කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (02) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ අදාළ කලාපයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල මේ වන විට පැය 24 පුරාම ක්‍රියාත්මක කරමින් ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි. එසේ වුවද පවතින සංකීර්ණ තත්ත්වය හමුවේ ඔවුන් සියලු දෙනා කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමේ හැකියාවක් මේ මොහොතේ නොමැති බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
මෙරට රැඳී සිටින විදෙස් සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ද රජය මැදිහත් වී සිටින බව හෙතෙම සඳහන් කළේය.
මේ අතර විදෙස් කටයුතු අමාත්‍යාංශය හරහා මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකිකයින්ට තම ගැටලු ඉදිරිපත් කිරීම සඳහා විශේෂ දුරකථන අංක හඳුන්වා දී තිබේ. ඒ අනුව 0094 742595546 දුරකථන අංකය හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ අදාළ තොරතුරු ලබා දිය හැකිය.