බලපත්‍රයක් නොමැතිව නිවාස තුළ ඉන්ධන තොග රැස් කර තබා ගැනීම නීති විරෝධී මෙන්ම අතිශය අවදානම් ක්‍රියාවක් බවත්, එවැනි ක්‍රියාවල නිරත වන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා අවධාරණය කරයි.
අද (02) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා මේ බව සඳහන් කළේය.
නීතිවිරෝධී ලෙස ඉන්ධන රැස් කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් ඊයේ (01) දිනයේදී ද පුද්ගලයින් කිහිප දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව හෙතෙම අනාවරණය කළේය. නිවාස තුළ අනාරක්ෂිත ලෙස ඉන්ධන ගබඩා කිරීම මගින් ජීවිත හා දේපළවලට විශාල හානියක් සිදුවිය හැකි බැවින්, එවැනි පුද්ගලයින් පිළිබඳ යම් තොරතුරක් ඇත්නම් වහාම පොලිසිය දැනුවත් කරන ලෙස ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.