අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් 2025 වර්ෂය තුළ සිදු කරන ලද වැටලීම් සහ පැමිණිලි විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පුද්ගලයින් 214 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම කොමිෂන් සභාව නිකුත් කළ 2025 ප්‍රගති වාර්තාව මගින් මේ බව අනාවරණය වේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර හිටපු අමාත්‍යවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල, එස්.එම්. චන්ද්‍රසේන, ප්‍රසන්න රණතුංග සහ චාමර සම්පත් දසනායක ඇතුළු දේශපාලනඥයින් 15 දෙනෙකු සිටින බව වාර්තාවේ සඳහන් වේ. රාජ්‍ය නිලධාරීන් අතර හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු, සේවයේ නියුතු නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 10 දෙනෙකු ද වෙයි.
රාජ්‍ය අංශය සැලකීමේදී වැඩිම පිරිසක් අත්අඩංගුවට පත්ව ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුවෙනි. එම සංඛ්‍යාව 33කි. ඊට අමතරව අධිකරණ අමාත්‍යාංශය යටතේ සේවය කළ නිලධාරීන් 14 දෙනෙකු ද කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
2025 ජනවාරි 01 සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ කොමිසම වෙත ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 8,080කි. ඉන් පැමිණිලි 569ක් විමර්ශනය සඳහා තෝරාගෙන ඇති අතර, කරුණු ප්‍රමාණවත් නොවීම හෝ පනතට අදාළ නොවීම හේතුවෙන් පැමිණිලි 3,660ක් විමර්ශනය නොකිරීමට තීරණය කර ඇත. තවත් පැමිණිලි 1,167ක් අදාළ වෙනත් ආයතන වෙත යොමු කර තිබේ.
සිදු කළ විමර්ශනවලින් අනතුරුව පුද්ගලයින් 153 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර ඇති අතර, 2025 වසර තුළ පැවති නඩු විභාගවලින් පුද්ගලයින් 36 දෙනෙකු වරදකරුවන් වී දඬුවම් නියම වී ඇති බව ප්‍රගති වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.