2030 වසර වන විට ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය අමෙරිකානු ඩොලර් බිලියන 30 දක්වා වර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය සහ 2026 වර්ෂය සඳහා වන සංවර්ධන සැලසුම් පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙහිදී රාජ්‍ය අංශය ඩිජිටල්කරණය, ඩිජිටල් කර්මාන්ත හා ආර්ථිකය සංවර්ධනය කිරීම, ඊට සරිලන ඉංජිනේරු ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම සහ ඩිජිටල් මාධ්‍ය භාවිතයෙන් අනෙකුත් ක්ෂේත්‍රවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම යන ප්‍රධාන අරමුණු 05 ඔස්සේ කටයුතු කිරීමට අපේක්ෂා කෙරේ. විශේෂයෙන් මුදල් නෝට්ටු භාවිතය අවම කර E-commerce සහ ඩිජිටල් ගෙවීම් ක්‍රම හරහා ජනතාවට ඕනෑම තැනක සිට ගනුදෙනු කිරීමේ පහසුව සලසා දීම මෙහි මූලික අරමුණක් බව හෙතෙම පෙන්වා දුන්නේය.
ඩිජිටල්කරණ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා නව ඩිජිටල් ආර්ථික පනත හරහා ‘ඩිජිටල් ආර්ථික අධිකාරියක්’ පිහිටුවීමටත්, සයිබර් අවකාශයේ ආරක්ෂාව තහවුරු කිරීමට ‘සයිබර් ආරක්ෂණ පනත’ සහ ‘මාර්ගස්ථ සුරක්ෂිතභාවය පිළිබඳ පනත’ බලාත්මක කිරීමටත් රජය කටයුතු කරමින් සිටී. මේ සඳහා පසුගිය අයවැයෙන් රුපියල් බිලියන 16.5ක සෘජු ප්‍රතිපාදන ඩිජිටල් අමාත්‍යාංශය වෙත වෙන්කර ඇත.
මෙම වසර අවසන් වීමට පෙර ඩිජිටල් ජාතික හැඳුනුම්පත ලබා දීමටත්, සියලු රාජ්‍ය සේවාවන් එක් තැනකින් ලබා ගත හැකි ‘සුපර් ඇප්’ (Super App) පද්ධතිය එළිදැක්වීමටත් සැලසුම් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කළේය. මීට අමතරව ‘Gov Pay’ හරහා දැනට ක්‍රියාත්මක ස්ථානීය රථවාහන දඩ ගෙවීම් QR ගෙවීම් ක්‍රමයක් දක්වා දියුණු කිරීමට ද නියමිතය.