සාධාරණ ඉල්ලීම් සඳහා වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කිරීමට රජය සූදානම් වුවද, රටේ දරුවන්ගේ අනාගතය හෝ ජනතාව ප්‍රාණ ඇපයට ගනිමින් සිදුකරන බලහත්කාරී වැඩවර්ජන හමුවේ කිසිවිටෙකත් පසුබට වී දණ නොනමන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන දැඩිව අවධාරණය කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ප්‍රවීණ මාධ්‍යවේදී වසන්ත මාසිංහගේ මෙහෙයවන ’10 Questions’ විශේෂ සාකච්ඡාවට එක්වෙමිනි.
විශේෂයෙන්ම පසුගිය අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග සමයේදී දුම්රිය වෘත්තීය සමිති දියත් කිරීමට උත්සාහ කළ වර්ජනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ලක්ෂ සංඛ්‍යාත දරුවන්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වන විභාගයක් පවතින අවස්ථාවක එවැනි අමානුෂික ක්‍රියාවන්ට රජයක් ලෙස කිසිසේත් ඉඩ දිය නොහැකි බවයි. එහිදී අත්‍යවශ්‍ය සේවා නියෝග ක්‍රියාත්මක කරමින් හෝ ජන ජීවිතය අඩාල වීමට නොදී පවත්වාගෙන යාමට රජය දැඩි තීරණයක් ගත් බව ඔහු සිහිපත් කළේය.
මෙම සාකච්ඡාවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කළ තවත් ප්‍රධාන කරුණු කිහිපයක් පහත පරිදි වේ:
‘ඔව් සර්’ සංස්කෘතියට සහ ඇමති වරප්‍රසාදවලට තිත
දශක ගණනාවක් තිස්සේ පැවති පිරිහුණු දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම නව රජයේ ප්‍රමුඛ අරමුණක් බව පැවසූ වෛද්‍ය ගුණසේන, තමන්ට “ඇමතිතුමා” යැයි කියනවාට වඩා “ඩොක්ටර්” යනුවෙන් ආමන්ත්‍රණය කරනවාට වඩාත් කැමති බව පැවසීය. මැති ඇමතිවරුන් වටා සිටින ‘ඔව් සර්’ කියන පිරිස් මත යැපීම වෙනුවට සෘජුවම බිම් මට්ටමෙන් තොරතුරු ලබාගන්නා බවත්, අනවශ්‍ය ආරක්ෂක රථ පෙළපාලි ඇතුළු ඇමති වරප්‍රසාද මේ වන විටත් කප්පාදු කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
දිරාගිය දුම්රිය එන්ජින් ගොඩගන්න හමුදාව බැස්සවූ මෙහෙයුම
දුම්රිය දෙපාර්තමේන්තුව මුහුණ දී ඇති දැඩි අර්බුදය පිළිබඳවද හෙතෙම කරුණු අනාවරණය කළේය. දැනට ධාවනය වන බොහෝ දුම්රිය එන්ජින් වසර 30කට වඩා සහ බලවේග කට්ටල වසර 20කට වඩා පැරණි ඒවා බව ඔහු පෙන්වා දුන්නේය. දෛනික ධාවනය සඳහා දුම්රිය එන්ජින් 60ක් පමණ අවශ්‍ය වුවද, දැනට සක්‍රීය මට්ටමේ පවතින්නේ ඉන් 50ක් පමණි. රටේ පවතින ඩොලර් අර්බුදය හමුවේ නව එන්ජින් ගෙන්වීම ප්‍රායෝගික නොවන බැවින්, ත්‍රිවිධ හමුදාවේ සහ දුම්රිය ඉංජිනේරුවන්ගේ එකමුතුවෙන් සැදුම්ලත් විශේෂ කාර්ය සාධක බලකායක් හරහා රත්මලාන දුම්රිය වැඩපොළේ දිරාපත් වෙමින් තිබූ පැරණි එන්ජින් යළි සක්‍රීය කිරීමේ දැවැන්ත වැඩපිළිවෙළක් මේ වන විටත් ආරම්භ කර ඇති බව ඔහු පැවසීය.
පොදු ප්‍රවාහනයට ඊ-ටිකට් සහ දූෂිතයන් අසාදු ලේඛනයට
1950 ගණන්වලදී මෙරට ජනතාවගෙන් 70%ක්ම ලංගම බස් රථ භාවිත කළද, අද වන විට එම ප්‍රතිශතය 25% දක්වා පහත වැටී ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා කනගාටුවෙන් යුතුව සිහිපත් කළේය. මෙම තත්ත්වය වෙනස් කරමින්, ඉදිරි වසරක් ඇතුළත පොදු ප්‍රවාහන සේවාවන් සඳහා ‘ඊ-ටිකට්’ (E-Ticketing) ක්‍රමයක් සහ නව ජංගම යෙදුමක් හඳුන්වා දෙන බව ඔහු ප්‍රතිඥා දුන්නේය. එමඟින් ටිකට්පත් වංචා සම්පූර්ණයෙන්ම වළක්වා ගැනීමට හැකිවනු ඇත.
එසේම, මහාමාර්ග ක්ෂේත්‍රයේ සිදුවූ මහා පරිමාණ දූෂණ නැවැත්වීම සඳහා, පසුගිය රජය සමයේ ගෙන ආ කිලෝමීටර් ලක්ෂයේ ව්‍යාපෘතිය වැනි නාස්තිකාර ව්‍යාපෘති වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කර ඇත. එමෙන්ම, ප්‍රමිතියෙන් තොරව කටයුතු කළ ප්‍රධාන පෙළේ මාර්ග ඉදිකිරීම් සමාගම් 11කින් 4ක්ම මේ වන විටත් අසාදු ලේඛනගත (Blacklist) කර ඇති බව ඔහු හෙළි කළේය.
මරදානේ සිට මාකුඹුර දක්වා ඉදි කෙරෙන විද්‍යුත් දුම්රිය මාර්ගය (Elevated Electrified Railway line) වැනි අත්‍යවශ්‍ය යටිතල පහසුකම් ව්‍යාපෘති ඉදිරියට ගෙන යන බවත්, බදු වැඩි කිරීමකින් තොරව නිවැරදි කළමනාකරණයෙන් පමණක් රේගු සහ සුරාබදු ආදායම් මේ වන විටත් ඉහළ නංවා ඇති බවත් පැවසූ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, ඉදිරි වසර පහ තුළ ජනතාව අපේක්ෂා කළ සැබෑ ‘සිස්ටම් චේන්ජ්’ එක (System Change) ප්‍රායෝගිකව ඉටු කර පෙන්වන බව වැඩිදුරටත් අවධාරණය කළේය.