දේශපාලන ප්‍රචාරක කටයුතු සඳහා සිය අනුගාමිකයින් පිරිසක් සමඟ බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වෙනුවෙන් එරට කේම්බ්‍රිජ් සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලවල සංවිධානය කර තිබූ හමුවීම් දෙකම අවලංගු කිරීමට සිදුව තිබේ.

ඔක්ස්ෆර්ඩ් සහ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල තුළ සිටින රාජපක්ෂ හිතවාදීන් විසින් මෙම හමුවීම් සංවිධානය කර තිබුණ ද, ඊට ප්‍රමාණවත් පිරිසක් සහභාගී නොවන බව කල්තියා තක්සේරු කර තිබූ බව වාර්තා වේ. එම තත්ත්වය මගහරවා ගැනීම සඳහා නාමල් රාජපක්ෂ විසින් ශ්‍රී ලංකාවේ සිටම තම සමීපතමයින් 25 දෙනෙකුට අධික පිරිසක් බ්‍රිතාන්‍යය වෙත රැගෙන ගොස් ඇති බව ද මේ වන විට අනාවරණය වී තිබේ.

කෙසේ වෙතත්, මුලින්ම කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ සංවිධානය කර තිබූ හමුව අවලංගු වූ අතර, අද (23) ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පැවැත්වීමට නියමිතව තිබූ හමුව ද එල්ල වූ දැඩි විරෝධතා හේතුවෙන් අවලංගු කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ජාතිවාදී ස්ථාවරයන්ට එරෙහි වීම, මහජන බදු මුදල් අවභාවිතය සහ රට බංකොලොත් කිරීම ඇතුළු චෝදනා හේතුවෙන් රාජපක්ෂ පවුලට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාව තුළ පවා ප්‍රබල විරෝධයක් ගොඩනැගී ඇති බව මෙම සිදුවීම් මාලාව හරහා යළිත් තහවුරු වන බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.