කෙහෙල්බද්දර පත්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ සබඳතා පැවැත්වූ දේශපාලනඥයන් පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල අද (20) පාර්ලිමේන්තුවේදී හෙළි කළේය.

අමාත්‍යවරයා සඳහන් කළේ, මෑතකදී පොලිස් අත්අඩංගුවට පත් පත්මේ ඇතුළු පාතාල ක්‍රියාකරුවන් සතුව තිබී සොයාගත් ජංගම දුරකථන 30ක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී මෙම තීරණාත්මක තොරතුරු හෙළි වූ බවයි. එම දුරකථන දත්ත විශ්ලේෂණය සහ සැකකරුවන්ගේ ප්‍රකාශ හරහා ඔවුන් සමඟ ගනුදෙනු කළ සහ අපරාධ ක්‍රියාවලට සම්බන්ධ වූ දේශපාලනඥයන් හඳුනාගෙන ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

ඒ අනුව අදාළ දේශපාලනඥයන් සම්බන්ධයෙන් මේ වන විටත් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බව අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේය. වර්තමාන විමර්ශන ඉතා සාර්ථක මට්ටමක පවතින බවත්, පූර්ණ විමර්ශනයකින් අනතුරුව මේ පිළිබඳ සවිස්තරාත්මක ප්‍රකාශයක් සිදු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.