2022 අරගල සමයේදී එවකට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ධුරයෙන් ඉවත් කර, තමා අග්‍රාමාත්‍ය ධුරයට පත්වීම සඳහා කුමන්ත්‍රණය කළ බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අවධාරණය කරයි.

2023 නොවැම්බර් 24 වැනිදා පාර්ලිමේන්තුව අමතමින් රනිල් වික්‍රමසිංහ මෙම චෝදනාව එල්ල කළ අතර, ඊට ප්‍රතිචාර දක්වමින් සාලිය පීරිස් සිය ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබමින් කියා සිටියේ, හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී තමන්ට පිළිතුරු දිය නොහැකි ස්ථානයක සිට මෙම අසත්‍ය ප්‍රකාශ සිදු කරන බවයි.

2022 මැයි මස 09 වැනිදාට පෙර තමන්ට අගමැති වීමේ කිසිදු අභිලාෂයක් නොතිබූ බව පෙන්වා දෙන සාලිය පීරිස්, එකල නීතිඥ සංගමය (BASL) විසින් ඉදිරිපත් කළ යෝජනාවලිය පුද්ගලික අරමුණු මත නොව, විධායක කමිටුවේ සහ නීතිඥ මණ්ඩලයේ අනුමැතිය ඇතිව රටේ දේශපාලන අර්බුදයට විසඳුමක් ලෙස ඉදිරිපත් කළ ඒවා බව පෙන්වා දෙයි.

තමන් කිසිදු විටෙක දේශපාලනඥයන් මෙන් රටේ අවශ්‍යතාවලට වඩා පෞද්ගලික අභිලාෂයන් ඉහළින් තබා කටයුතු නොකළ බවත්, තනතුරු ලබා ගැනීමේ කෑදරකම වෙනුවෙන් ප්‍රතිපත්ති පාවා දී නොමැති බවත් ඔහු එම සටහන මගින් දැඩිව අවධාරණය කර ඇත.