නීතිඥ බුද්ධික මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිඳ ඉකුත් 13 වැනිදා සහාසික ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත්, මෙය පසුගිය පාලකයන් විසින් පෝෂණය කරන ලද ‘පාර රාජ්‍ය’ (Para-state) මැර කල්ලිවල ක්‍රියාවක් බවත් ජාතික ජන බලවේගයේ නීතිඥ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
පසුගිය පාලන සමයේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් පෝෂණය කළ මැරවරයින් විසින්, පුරවැසි අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින වෘත්තිකයන් ඉලක්ක කර මෙම ප්‍රහාර එල්ල කරන බව එම නිවේදනයේ සඳහන් වේ. දහවල් කාලයේ ආයුධ සන්නද්ධව පැමිණ නිරායුධ පුරවැසියන් ඝාතනය කිරීමේ මෙම අඳුරු සංස්කෘතිය නිමා කිරීමට වත්මන් රජය ක්‍රියාත්මක වන වේගය තවදුරටත් වැඩි කළ යුතු බව එම සංවිධානය අවධාරණය කරයි.
පාර රාජ්‍යයේ ලේ පිපාසිතයින්ගේ ඉලක්කය විටක මාධ්‍යවේදියෙකු, පොලිස් නිලධාරියෙකු, විනිසුරුවරයෙකු හෝ නීතිඥයෙකු විය හැකි බව පෙන්වා දෙන එම සංගමය, හෙට දිනයේ කවුරුන් ගොදුරු වේදැයි කිව නොහැකි තත්ත්වයක් පවතින බව පෙන්වා දෙයි. එබැවින් අපරාධ වැළැක්වීමේ සහ විමර්ශන ක්‍රියාවලියේ වේගය අන් කවරදාටත් වඩා වැඩි කළ යුතු බව ඔවුන් රජයට පෙන්වා දෙයි.
සියලු පුරවැසියන්ගේ ගෞරවය හා ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම ජාතික ජන බලවේගයේ ආණ්ඩුව සතු බැවින්, පොලිසිය සහ රාජ්‍ය යාන්ත්‍රණය කඩිනමින් මෙම අපරාධකරුවන් නීතිය හමුවට පමුණුවනු ඇතැයි අපේක්ෂා කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.