සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පසුගියදා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී අධිකරණයට අපහාස වන අයුරින් සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් මේ වන විට දැඩි අවධානය යොමු වී තිබේ.

විශේෂයෙන් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරුවරුන් ඉල්ලා අස්වන බවට මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සත්‍යය විකෘති කිරීමක් සහ ජනතාව නොමග යැවීමක් බව කරුණු අනාවරණය වී ඇත. අදාළ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය වසර 05ක පමණ කාලයක සිට ක්‍රියාත්මක වන අතර, නඩු විභාගය දිනපතා සිදු කරනු ලබන්නේ අගවිනිසුරුවරයාගේ උපදෙස් මත බව තහවුරු වේ.

නඩුව විභාග කරන විනිසුරුවරුන්ගේ වෙනස්වීම් සිදුව ඇත්තේ විශ්‍රාම යාම, ඉහළ අධිකරණවලට උසස්වීම් ලැබීම හෝ සාමාන්‍ය ස්ථාන මාරුවීම් වැනි පරිපාලනමය හේතු මත පමණක් බව අධිකරණ වාර්තා පෙන්වා දෙයි. 2021 සැප්තැම්බර් 01 දින පත් කළ විනිසුරු මඩුල්ල (සභාපති විනිසුරු දමිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ) 2024 ජූලි 24 දක්වා කටයුතු කළ අතර, ඉන්පසු සිදුවූ පරිපාලන වෙනස්කම් මත 2024 දෙසැම්බර් 19 සිට වත්මන් විනිසුරු මඩුල්ල (සභාපති විනිසුරු නවරත්න මාරසිංහ, සුජීව නිස්සංක සහ ප්‍රදීප් අබේරත්න) නඩුව විභාග කරයි.

එවන් පසුබිමක් තුළ මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිත කරමින් මෙය “කැලෑ අධිකරණයක්” බවටත්, මාධ්‍යවේදීන්ට හෝ පවුලේ අයට ඉඩ නොදෙන බවටත්, ඇමති බංගලාවක නඩු අසන බවටත් සිදුකරන ප්‍රකාශ සිතාමතාම සිදුකරන විකෘති කිරීම් බව නීති අංශ පෙන්වා දෙයි.