අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් කැඳවා ඇති බව වාර්තා වේ.

ඒ අනුව, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන 13 වැනිදාත්, හිටපු අගවිනිසුරු සහ නීතිපති මොහාන් පීරිස් ලබන 16 වැනිදාත් අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටිය යුතු බව දැනුම් දී තිබේ.

ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ කාල වකවානුවේදී, කොළඹට ආසන්න ප්‍රදේශයක නිවාස සංකීර්ණයක නිවාස කිහිපයක් නීත්‍යනුකූල නොවන ආකාරයට පුද්ගලයින් කිහිප දෙනෙකුට ලබා දීම සඳහා නිර්දේශ ලිපි නිකුත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම විමර්ශනය ක්‍රියාත්මක බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.