සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සට එරෙහිව අසත්‍ය සහ අපහාසාත්මක කරුණු ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට සහ එය විකාශය කළ ස්වර්ණවාහිනී මාධ්‍ය ආයතනයට එරෙහිව රුපියල් කෝටි 100 බැගින් වන්දි ඉල්ලා එන්තරවාසි යොමු කර තිබේ.

2026 පෙබරවාරි 06 හෝ ඊට ආසන්න දිනයක මාධ්‍ය හමුවක් පවත්වමින් විමල් වීරවංශ ප්‍රකාශ කර ඇත්තේ, අසාධු ලේඛනගත (Blacklisted) ඖෂධ සමාගමක හිමිකරුවෙකුගේ ණය කාඩ්පතක් භාවිත කරමින් අමාත්‍යවරයා ඉන්දියාවේදී රුපියල් මිලියනයක පමණ භාණ්ඩ මිලදී ගෙන ඇති බවයි. මෙම ප්‍රකාශය ස්වර්ණවාහිනී නාලිකාව විසින් පෙබරවාරි 07 වැනිදා “Story of the Day” විශේෂාංගය යටතේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් ප්‍රචාරය කර ඇත.

අදාළ එන්තරවාසියේ සඳහන් වන්නේ, මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ පදනම් විරහිත බවත්, එය අමාත්‍යවරයාගේ කීර්ති නාමයට සහ මහජන විශ්වාසයට හානි කිරීමේ ද්වේශසහගත අරමුණින් සිදු කර ඇති බවත්ය. විශේෂයෙන් අදාළ මාධ්‍ය ආයතනය මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් කරුණු විමසීමක් හෝ ප්‍රතිචාර දැක්වීමට අවස්ථාවක් ලබා දී නොමැති බව ද එහි පෙන්වා දී තිබේ.

එබැවින් සිය කීර්ති නාමයට සිදුවූ හානිය වෙනුවෙන් රුපියල් කෝටි 100 බැගින් වන්දි ගෙවන ලෙස විමල් වීරවංශට සහ ස්වර්ණවාහිනී ආයතනයට (Ben Holdings සහ EAP Broadcasting Company) නීතිඥවරයා මාර්ගයෙන් දැනුම් දී ඇති අතර, එසේ නොමැති නම් නඩු පැවරීමට කටයුතු කරන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස අවධාරණය කරයි.