පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන් ඉලක්ක කර සිදුවන වාචික හිංසනයන් සහ අපහාස කිරීම් වැළැක්වීම සඳහා ස්ථාවර නියෝග වහාම සංශෝධනය කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය කථානායකවරයා වෙත ලිඛිත ඉල්ලීමක් සිදු කර තිබේ.
අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් ඇතුළු සංසදයේ සාමාජිකාවන්ගේ අත්සනින් යුතුව මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය සඳහන් කරයි. මෑත කාලීනව සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන් ඉලක්ක කරගනිමින් වාචික හිංසනයන් සිදුකිරීමේ ප්‍රවණතාවක් නිරීක්ෂණය වී ඇති බැවින් මෙම පියවර ගත් බව එම සංසදය පෙන්වා දෙයි.
මෙම තත්ත්වය හුදෙක් පුද්ගලයන් ඉලක්ක කරගත් ගැටලුවක් පමණක් නොව, ජනතාවගේ ස්වාධිපත්‍ය බලයටත්, කාන්තාවන්ට අදහස් ප්‍රකාශ කිරීමට සහ දේශපාලනයට සම්බන්ධ වීමට ඇති අයිතියටත් එරෙහි අභියෝගයක් බව මන්ත්‍රීවරියන්ගේ සංසදය අවධාරණය කරයි. එසේම මෙවැනි හැසිරීම් සමාජය තුළ දේශපාලනයෙහි කාන්තාවන්ගේ ක්‍රියාකාරී සහභාගීත්වයට ඍණාත්මක පූර්වාදර්ශයක් සපයන බව ද ඔවුන් පෙන්වා දී තිබේ.
ඒ අනුව, ස්ථාවර නියෝග යටතේ වන “පාර්ලිමේන්තුව තුළ විනය” යන කොටස සංශෝධනය කරමින්, මන්ත්‍රීවරියන්ට අපහාස වන හෝ හිංසනයට ලක්වන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීම වැළැක්වීමට නව ස්ථාවර නියෝගයක් ඇතුළත් කරන ලෙස එම සංසදය කථානායකවරයාගෙන් ඉල්ලා සිටී.