පසුගිය 04 වැනිදා පැවති 78 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේදී ආරක්ෂක හමුදාව අවතක්සේරු කළ බවටත්, යුද්ධෝපකරණ ප්‍රදර්ශනය නොකිරීම සම්බන්ධයෙන් රජය දැක්වූ අදහස් පදනම් විරහිත බවටත් විපක්ෂයෙන් ආණ්ඩුවට දැඩි චෝදනා එල්ල වෙමින් පවතී.
විශේෂයෙන් රජය ණයට ගත් මුදලින් ගෙනෙන අවි ආයුධ නිදහස් දින ප්‍රදර්ශනය කිරීම ජාතික අභිමානයට හේතුවක් නොවන බවට රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න සිදු කළ ප්‍රකාශය විපක්ෂයේ දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇත.
මේ සම්බන්ධයෙන් ඊයේ (05) පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ප්‍රශ්න කර සිටියේ, ණයට ගත් යුධ උපකරණ පෙන්වීමට නොහැකි බව කියන ආණ්ඩුවේ නියෝජිතයින් අනුන්ගෙන් ඇඳුම් ඉල්ලාගෙන අඳින්නේ මන්ද යන්නයි. ලොව කිසිවෙකුටත් පරාජය කළ නොහැකි යැයි කියූ ත්‍රස්තවාදය පරාජය කළේ ත්‍රිවිධ හමුදාව බවත්, එය අභිමානයෙන් ප්‍රකාශ කිරීමට රටේ රාජ්‍ය නායකයාට ශක්තියක් නොමැති බවත් ඔහු චෝදනා කළේය. දකුණේ බහුතරය විවේචනය කරමින් ඩයස්පෝරාවේ හෝ උතුරේ ජනතාවගේ හිත දිනාගත නොහැකි බව ද නාමල් රාජපක්ෂ අවධාරණය කළේය.
මේ අතර ඊයේ (05) බත්තරමුල්ලේ පැවති මාධ්‍ය හමුවකදී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සඳහන් කළේ මෙවර නිදහස් දින සැමරුම බෞද්ධ විරෝධී සහ ආරක්ෂක හමුදාවට අවමන් සහගත එකක් බවයි. “අවි ආයුධ පෙන්වන්න බැරි ණයට ගත් ඒවා නිසා නම්, ජනාධිපති සහ ඇමතිවරු පැමිණියේත් ණයට ගත් වාහනවලින් ද?” යන්න ඔහු ප්‍රශ්න කළේය.
කෙසේ වෙතත්, විපක්ෂයේ මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ ප්‍රකාශ කළේ, ත්‍රිවිධ හමුදාව අවතක්සේරු කිරීමක් රජය කිසිසේත් සිදු කර නොමැති බවයි. ජනතාවගේ බදු මුදල් කෝටි ගණනින් නාස්ති කරමින් අහසට වෙඩි තැබීම හෝ අධික වියදම් දරමින් උත්සව පැවැත්වීම උත්කර්ෂවත්භාවය නොවන බව රජයේ ස්ථාවරයයි.
“යළි ගොඩනගමු” යන තේමාව යටතේ අනවශ්‍ය වියදම් කපා හරිමින්, ඉතා චාම් නමුත් අභිමානවත් අයුරින් කොළඹදී මෙන්ම ප්‍රාදේශීය මට්ටමින් ද නිදහස් උත්සවය පැවැත්වීමට රජය කටයුතු කළ බවත්, සුන්බුන් විපක්ෂය කුමන විවේචන එල්ල කළ ද රටේ ජනතාව මෙම වෙනස වටහාගෙන ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.