වත්මන් දේශපාලන හා ආර්ථික තත්ත්වය පිළිබඳ සත්‍ය හෙළි කරන විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉලක්ක කර ගනිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට හිතවත් කණ්ඩායමක් විසින් සංවිධානාත්මක ප්‍රහාරයක් දියත් කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

එහි නවතම සිදුවීම ලෙස, සජිත් ප්‍රේමදාසගේ සමීපතමයෙකු වන චරිත් අබේසිංහ විසින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාට එරෙහිව දැඩි විවේචනයක් එල්ල කර තිබේ. යූටියුබ් නාලිකාවක පැවති සාකච්ඡාවකට එක්වෙමින් චරිත් අබේසිංහ මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ හර්ෂ ද සිල්වා විසින් පසුගිය අයවැය විවාදයේදී සිදු කළ ප්‍රකාශ දෙකක් පදනම් කර ගනිමිනි.

වත්මන් රජය බලයට පත්වීමෙන් පසු මහා භාණ්ඩාගාරය උතුරා යන තරමට මහජන මුදල් ඉතිරි කර ඇති බවට හර්ෂ ද සිල්වා සිදු කළ ප්‍රකාශය සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැකි ඉක්මනින් ක්‍රියාත්මක කරන ලෙස කළ ඉල්ලීම මෙලෙස විවේචනයට ලක්ව ඇත.

කෙසේ වෙතත්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කඩිනම් කළ යුතු බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද පසුගිය සතියේ විශේෂ වීඩියෝවක් නිකුත් කරමින් අවධාරණය කර තිබියදී, ඔහුගේ සමීපතමයෙකු එම කරුණම මුල් කර ගනිමින් හර්ෂ ද සිල්වාට පහර දීම දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්ව තිබේ.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට අමතරව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් ද මෙම කණ්ඩායමේ ඉලක්කයක් වී ඇති අතර, මීට පෙර අවස්ථාවක පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර යොදවා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී ශ්‍රීධරන්ට ද මෙලෙස ප්‍රහාරයක් එල්ල කර තිබිණි.