බලය ලබා ගැනීම සඳහා සිදුකළ කැපවීමට වඩා දැවැන්ත මැදිහත්වීමක් බලය පවත්වාගෙන යාම සහ රාජ්‍ය තන්ත්‍රය වෙනස් කිරීම සඳහා ඉදිරියටත් අවශ්‍ය වන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත අවධාරණය කරයි.

පසුගිය 21 වනදා කොළඹදී පැවති වී. අයි. ලෙනින් සැමරුම් උත්සවය අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ වර්තමාන රජය සතුව ඇත්තේ ආණ්ඩු බලය පමණක් බවත්, රාජ්‍ය බලය තවමත් සම්පූර්ණයෙන් අත්පත් කරගෙන නොමැති බවත්ය. පාර්ලිමේන්තුවේ ආසන 159ක බහුතර බලයක් තිබුණ ද, එම බලය භාවිත කර විධායක ජනාධිපති ධුරය හරහා අත්තනෝමතිකව කටයුතු කිරීමට හෝ ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කිරීමට රජය සූදානම් නොමැති බව ඔහු අවධාරණය කළේය. 13 සහ 17 වැනි සංශෝධන හරහා සීමා කරන ලද විධායක බලතල නැවත අත්පත් කර ගැනීමට උත්සාහ නොකරන බව ද හෙතෙම සඳහන් කළේය.

අතීතයේ පක්ෂය තහනම් කර, නායකයින් ඇතුළු 60,000ක් ඝාතනය කළ භීෂණ සමයේ විපක්ෂ දේශපාලනය කිරීම අතිශය දුෂ්කර වූ බව සිහිපත් කළ ලාල්කාන්ත, වර්තමානයේ ආණ්ඩු කිරීම ඊට සාපේක්ෂව පහසු වුවත් අභියෝග රැසක් පවතින බව පෙන්වා දුන්නේය.

ලෙනින්ගේ දේශපාලන දර්ශනය වත්මන් ආණ්ඩුවට මඟ පෙන්වන බව සඳහන් කළ අමාත්‍යවරයා, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැනි කටයුතුවලදී “අඩියක් පෙරට, අඩි දෙකක් පස්සට, යළි වේගයෙන් ඉදිරියට” යන ලෙනින්ගේ න්‍යාය අනුගමනය කරන බව කියා සිටියේය. මෑතකදී ඇති වූ ‘දිට්වා’ ආපදා තත්ත්වයේදී ආණ්ඩුව සහ රාජ්‍ය යාන්ත්‍රණය මීට පෙර නොවූ විරූ අයුරින් ඒකාබද්ධව කටයුතු කළ බවත්, ඉදිරියේදී මෙම ආයතන දෙක අන්තර් විනිවිද යමින් ජනතාවගේ අවශ්‍යතා ඉටු කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.